Saturday, April 20, 2024

General line - 0115112241

රුසියාවට එරෙහි සම්බාධක ඉවත් කිරීමට ට්‍රම්ප් සූදානම්




රුසියාව සහ චීනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමා සූදානම් බව අමෙරිකානු ජනාධිපති ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසනවා.

ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක පිළිබඳව තීරණයක් ගැනීමට වුව ද හැකි බවයි. ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහි සටනට සහ සෙසු වැදගත් කරුණු සඳහා රුසියාව සහය ලබාදෙන්නේ නම් සම්බාධක ඉවත් කළ හැකි බව ඔහු අවධාරණය කර තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් මුණගැසීමට වුව ද සූදානම් බවයි ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසා ඇත්තේ. එමෙන්ම ‘‘එක් චීනයක්’’ යන චීනයේ සංකල්පය පිළිබඳව ද සාකච්ඡා කිරීමට සූදානම් බව ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

ඩොනල්ඩ් ට‍්‍රම්ප් මෙම අදහස් පල කළේ අමෙරිකානු ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල වෙනස් කිරීමට රුසියාව මැදිහත් වූ බවට චෝදනා එල්ල වී ඇති වකවානුවකයි.

අමෙරිකානු බුද්ධි අංශ මෙම චෝදනාව එල්ල කිරීමෙන් පසුව රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමටයි තීරණය කෙරුණේ.