Tuesday, December 24, 2024

General line - 0115112241

විදුලියට කළ දේ ජලයටත් කරන්න යනවලු




ඉදිරියේ දී ජල ගාස්තු වැඩිවනු ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල වෘත්තීය සමිති පවසනවා.

එහි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කළේ ජල සම්පාදන මණ්ඩලයේ අඹතලේ දකුණ ඉවුර දෙවන ව්‍යාපෘතිය පෞද්ගලික අංශයට ලබාදීමේ වැඩපිළිවෙල හේතුවෙන් මෙම තත්වය උදාවනු ඇති බවයි.

මීට පෙර විදුලිබල මණ්ඩලය අනුගමනය කළ ක්‍රියාවලිය දැන් ජලසම්පාදන මණ්ඩලය අනුගමනය කරන්නට පියවර ගනිමින් ඇති බවත් ඔහු සඳහන් කළා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “ජල පිරිපහදුව පෞද්ගලික අංශයට ලබා දෙන්න යනවා. එහි නිෂ්පාදනය කරන ජලය ජල සම්පාදන මණ්ඩලය වැඩි මිලකට ගන්න යනවා. ඊට පස්සේ ජනතාවට විකුණනවා.” යනුවෙනි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ. ඒ. අන්සාර්ගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ එය පෞද්ගලීකරණයක් යැයි අර්ථ දැක්වීම සම්පූර්ණ වැරදි සහගත බවයි. විදේශ රටක් මණ්ඩලය වෙනුවෙන් ආයෝජනය කරන්නේ නම් මේ මොහොතේ වැදගත් බවත් සඳහන් කළා.

පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් පානීය ජලය සැපයීම ද අර්බුදයට ලක්ව ඇති බව නෙත් නිවුස් කළ ප‍්‍රශ්න කිරීම්වල දී සභාපතිවරයා සඳහන් කළා. ජල කප්පාදුවක් නොව ජලය සීමා කිරීමක් සිදු කිරීමට සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර කාසල්රී සහ මාවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම ද තවදුරටත් පහළ ගොස් තිබෙනවා. මේ වනවිට ඒවායේ ජල මට්ටම පවතින්නේ සියයට 45ක මට්ටමකයි. ලක්ෂපාන, නව ලක්ෂපාන, කැණියොන්, විමලසුරේන්ද්‍ර සහ පොල්පිටිය යන විදුලි බලාගාර සඳහා ජලය නිකුත් කරන්නේ ද මෙම ජලාශ දෙකෙන්.

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණය තවදුරටත් පැවතිය හොත් ජල විදුලි උත්පාදනය තාවකාලිකව සීමා කිරීමට සිදුවනු ඇති බවටයි විදුලිබල මණ්ඩලයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.