දඹුල්ල නගරයේ උපකාරක පංති ගුරුවරයෙකුගේ පහරකෑමට ලක් වූ බව කියන 16 හැවිරිදි සිසුවෙකු ප‍්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම සිසුවා දඹුල්ල ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. තමන් සහභාගී වූ උපකාරක පංතිය නිම වීමෙන් පසුව මිතුරෙකු මුණ ගැසීම සඳහා මෙම ගුරුවරයාගේ උපකාරක පංතිය අසළට ගිය අවස්ථාවේ පහරදීම සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සිසුවාට පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පහරදුන් බව කියන ගුරුවරයා ද මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
නෙත් නිවුස් සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල රෝහල් පොලිසියෙන් ද විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති වුව ද අදාළ සිසුවාගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගත් බවයි.