Tuesday, December 24, 2024

General line - 0115112241

අධ්‍යාපන ඇමතිගෙන් දෙමාපියන්ට පණිවිඩයක්




පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ දී චක්‍රලේඛ උල්ලංඝණය කරමින් කටයුතු කරන විදුහල්පතිවරුන්ට සහ නිලධාරීන්ට විරුද්ධව තරාතිරම නොබලා ක්‍රියා මාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අද (01) අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නා.

දැනට ආරම්භ කර ඇති කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු පාසල්වල විමර්ශන කටයුතු විධිමත් කරන ලෙස හා කඩිනමින් එම විමර්ශන අවසන් කරන ලෙස ද ඇමැතිවරයා නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

අධ්‍යාපන ඇමැතිවරයා එලෙස උපදෙස් දුන්නේ ව්‍යාජ ලේඛන භාවිත කරමින් ජාතික පාසල් 15 කට සිසුන් ඇතුළු කිරීමේ සිදුවීම් ඇතුළුව පාසල් කිහිපයක පැවැත්වෙන විමර්ශනවල ප්‍රගතිය සාකච්ඡා කිරීමට සහ ගැටළු සාකච්ඡා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ දී කැඳවූ රැස්වීමකදීයි.

විවිධ ව්‍යාපෘති ගැන කියමින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී ආදි ශිෂ්‍ය සංගම් ගිණුම්වලට මුදල් බැරකරවා ගැනීම ගැන ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා.

චක‍්‍රලේඛයන්ට පටහැනිව දරුවන් සහ දෙමව්පියන් පීඩාවට පත් කරමින් මුදල් රැස් කිරීමේ යෙදෙන පුද්ගලයන්ට එරෙහිව පැමිණිලි හා චෝදනා අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයුම් මැදිරිය වෙත දුරකතන අංක 1988 ඇමතීමෙන් දැනුම් දිය හැකියි.

විදුහල්පතිවරයෙකුට නිල කුවිතාන්සියක් නිකුත් කොට මුදල් අයකර ගැනීමේ හැකියාව තිබෙන්නේ අනුමත පහසුකම් හා සේවා ගාස්තු අයකර ගැනීමේ දී සහ පාසලේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම (විදුලි බිල, දුරකථන බිල, ආරක්ෂක වියදම් වැනි මූලික අවශ්‍යතා) සඳහා පමණයි. ඉන් පාසලේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම් සම්බන්ධ කාරණාවලදී අදාළ චක‍්‍රලේඛයෙහි දක්වා ඇති මූලික කරුණු 3 ක් අධ්‍යයනය කොට ඒ අනුව සකස් කළ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශයට එවා ඒ සඳහා අමාත්‍යාංශ අනුමැතිය ද ලබා ගත යුතු බව ද දක්වා තිබෙනවා.