ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය අනිවාර්යයෙන්ම තරගවදින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
පුුනරුත්තාපනය කළ එල්.ටි.ටි.ඊ. සමාජිකයින් හා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ “අපි කියපුවා මේ ආණ්ඩුව තුට්ටුවකට ගනන් ගත්තෙ නැහැ. ආණ්ඩුව ආරක්ෂාව අඩු කළා. බුද්ධි අංශ ක්‍රියාත්මක වුණේ නැහැ. හමුදා කඳවුරු ඉවත් කළා. අපි කටයුතු කළේ මේ ආරක්ෂාවන් ඇතුවයි. අපේ කාලේ බුද්ධි අංශ ඉතාම සීරුවෙන් එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් පිළිබඳව සොයා බලමින් හිටියේ.” යනුවෙනි.
රටේ ඇතිවන විරෝධතාවලට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළා. එහිදී හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව ප්‍රශ්න විසඳන්නේ උසාවි ගෙනයමින් සහ සිරගත කිරීම්වලින් බවයි.
ගැටලුවලට විසඳුම් සොයාගත යුත්තේ සාකච්ඡා මාර්ගයෙන් බවයි මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.