Friday, September 20, 2024

General line - 0115112241

අභිමානවත් 69 වැනි නිදහස්‌ සැමරුම් උළෙලට සියල්ල සුදානම්




අභිමානවත් 69 වැනි නිදහස්‌ සැමරුම් උළෙල හෙට (04) ගාලුමුවදොරදී පැවැත්වෙනවා.

“ජාතික සමගිය” මෙවර එහි තේමාවයි.

ඊයේ රාත්‍රි 9.30 ට නිදහස්‌ චතුරශ්‍රයේ දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ වූ අතර අද බම්බලපිටිය වජිරාරාම විහාරස්‌ථානයේදී සංඝගත දක්‌ෂිණාව පැවැත්වෙනවා.

හෙට (04 ) පෙරවරු 6.30 ට බෞද්ධ ආගමික වතාවත් කොළඹ පොල්වත්ත ධර්මකිර්ත්‍යාරාම විහාරස්‌ථානයේදී ද, හින්දු ආගමික වතාවත් කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වරන් කෝවිලේදී ද ඉස්‌ලාමීය ආගමික වතාවත් කොළඹ 12 මහ පල්ලිය දේවස්‌ථානයේදී ද, කතෝලික දේව මෙහෙය තිඹිරිගස්‌යාය ශාන්ත තෙරේසා දේවස්‌ථානයේදී ද, ක්‍රිස්‌තියානි දේව මෙහෙය බොරැල්ල ශාන්ත ලූක්‌ දේවස්‌ථානයේදී ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

හෙට පෙරවරු 7.30 ට මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතාගේ පිළිරුව අභියස පුෂ්පෝපහාර පවත්වා පෙරවරු 8.00 ට ගාලු මුවදොර පිටියේදී ආරාධිත අමුත්තන් සිය ආසනවල අසුන්ගැනීමට නියමිතයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ යුවළ උළෙලට සම්ප්‍රාප්තවීම පෙරවරු 8.14 ට සිදුවීමට නියමිත අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය පෙරවරු 8.45 ට සම්ප්‍රාප්ත වීමට නියමිත බවයි නිදහස් දින වැඩසටහනේ දැක්වෙන්නේ.

මඟුල් බෙර වාදනය සහ සක්‌හඬ පිඹීම මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික කොඩිය එසවීම පෙරවරු 8.50 ට සිදුකිරීමට නියමිත අතර පාසල් සිසුන් 110 කගේ සහභාගීත්වයෙන් සිංහල හා දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීම සිදු කෙරෙනු ඇත.

ජනාධිපති උත්තමාචාර සිදුකිරීම පෙරවරු 09.12 ට සිදුකෙරෙන අතර ජනාධිපතිවරයා ජාතිය ඇමතීම පෙරවරු 9.18 ට සිදුකිරීමට නියමිතයි.

පෙරවරු 9.48 ට ආරක්‌ෂක අංශ සාමාජිකයන් 7882 ක ගේ සහභාගිත්වයෙන් ආචාර පෙළපාලිය පැවැත්වෙන අතර දහවල් 12.00 ට නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25 ක්‌ පිරිනැමීමෙන් පසු උත්සවයේ වැඩකටයුතු සමාප්ත වනවා.