Friday, September 20, 2024

General line - 0115112241

නිදහස සමරන ශ‍්‍රී ලංකාවේ මීළඟ වගකීම ජනපති පෙන්වා දෙයි




ශ‍්‍රී ලංකාවේ 69වන ජාතික නිදහස් දින සැමරුම අදට යෙදී තිබෙනවා. වසර ගණනාවක් විවිධ විදේශීය ජාතීන්ට යටත් වී සිටි ශ‍්‍රී ලංකාව ඔවුන්ගෙන් නිදහස ලැබූයේ 1948 වසරේදීයි.

මානවයා ස්වකීය නිදහස උදෙසා කරන ලද අරගල නිසා මානව ඉතිහාසය විචිත‍්‍රවත් වී ඇතැයි අදට යෙදී ඇති ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. සියවස් ගණනාවක් ඈතට ඇදී යන රාජාණ්ඩු යුගයේ සිට ශ‍්‍රී ලංකාවේ ද එවැනි අරගල සිදුවූ බවයි එමගින් සිහිපත් කර ඇත්තේ. එම නිදහස් අරගල වෙනුවෙන් කැපවූ සියලූදෙනාට අප ණය ගැති වන බවද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අදට යෙදී ඇති 69වන ජාතික නිදහස් දිනය ශ‍්‍රී ලංකාවට අතිශයින්ම තීරණාත්මක සහ අභියෝගාත්මක බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. ආසන්න අතීතයේදී අත්පත් කරගන්නා ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කිරීමේත්, ස්වදේශික චින්තනය ඔස්සේ සියලූ ජන කොටස්වලට අභිමානයෙන් ජීවත් විය හැකි වඩා හොඳ රටක් නිර්මාණය කිරීමේත් වගකීම සියලූදෙනාට මේ මොහොතේ පැවරී ඇතැයි ද එම නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අභිමානවත් දේශයක් නිර්මාණය කිරීමට නම් ස්වාර්ථ පසෙකලා සියලූදෙනා එක්සත් ශ‍්‍රී ලාංකීය ජනතාවක් ලෙස රට වෙනුවෙන් වෙහෙසී කටයුතු කළ යුතු බවයි. ලබාගත් නිදහස වඩා අර්ථවත් කිරීම කිහිපදෙනෙකුගේ නොව සියලූදෙනාගේ වගකීමක් බවද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. ජනතාවගේ ආර්ථික, සමාජයීය සහ ආධ්‍යාත්මික නිදහස තහවුරු කිරීමට තවදුරටත් කැපවන බවද එම නිවේදනයේ සඳහන්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අදට යෙදී ඇති ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙවර ජාතික නිදහස් දිනය සැමරීමට ශ‍්‍රී ලංකාවට සිදුව ඇත්තේ එළැඹෙන වසරේදී එවැනි සැමරීමක් සඳහා රටක් ඉතිරි වේදැයි සැකයක් ද සිත දරාගෙන බවයි එහි සඳහන් වන්නේ. ශ‍්‍රී ලංකාව සතු දේපළ විදේශිකයින්ට විකුණා දැමීමට ද රටේ ඒකීය භාවය අවදානමට හෙළා කටයුතු කිරීමට ද වත්මන් පාලකයින් කටයුතු කරන බව ද එම නිවේදනයේ දැක්වෙනවා. ඒ නිසා සැබෑ නිදහසේ්ත් ස්වාධිපත්‍යයේත් වැදගත්කම අද දිනයේදී හෝ ඔවුන්ට අවබෝධ වේවායි ප‍්‍රාර්ථනා කරන බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටින්නේ.

මේ අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රටේ අනාගතය තීරණය වන්නේ සාධාරණ හා පිළිගත හැකි පොදු එකඟතාවන්ට අනුව පවතින ගැටලූ විසඳාලීමෙන් බවයි. ගැටලූ විසඳීමේදී ඒවාට හේතු වූ කරුණු හඳුනා ගැනීම ද වැදගත් වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.