Friday, September 20, 2024

General line - 0115112241

යා යුතු මග පෙන්වා දෙමින් ආගමික නායකයෝ මව්බිමට සෙත්පතති




අදට යෙදී ඇති ජාතික නිදහස් දිනය වෙනුවෙන් ආගමික නායකයින් ද විශේෂ නිවේදන නිකුත් කර තිබෙනවා. මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් පවසන්නේ නිදහස ලැබී වසර 69ක් ගත වී ඇතත් විදේශීය පාලනයන්ගේ නරක ප‍්‍රතිඵල ශ‍්‍රී ලංකාවට තවමත් දැනෙමින් ඇති බවයි.

ආර්ථික සංවර්ධනය සහ සමෘද්ධිය අත්පත් කරගැනීමටත් රටේ ඒකීයභාවය පවත්වා ගැනීමට, ආගමික නිදහස සහ සංස්කෘතික විවිධත්වයන්ට ඇති අයිතිය ආරක්ෂා කිරීමටත් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ අවධාරණය කරනවා.

අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන හිමියන් පවසන්නේ නිදහස යනු ප‍්‍රායෝගික කාර්යාවලියක් බවයි.

එය අර්ථවත් වීමට නම් ආර්ථික සහ සමාජයීය නිදහස ද අත්පත් කරගත යුතු බව උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. බටහිර ගැති වහල් මානසිකත්වයෙන් ශ‍්‍රී ලංකාවට තවමත් නිදහස් වීමට නොහැකි වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ඒ නිසා පළමුවෙන්ම වහල් මානසිකත්වයෙන් මිදීමට
ශ‍්‍රී ලංකාව කටයුතු කළ යුතු බවද උන්වහන්සේ අවධාරණය කරනවා.

මේ අතර අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඤාණීස්වර හිමියන් පෙන්වා දෙන්නේ පාලකයින් සහ මහජනතාව අතර වඩා හොද සංවාදයක් ඇති විය යුතු බවයි. එවැනි සංවාදයක් මගින් එක්සත් සහ සංවර්ධිත රටක් නිර්මාණය කිරීමට හැකි වේවායි මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරන බවද උන්වහන්සේ පවසනවා.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් පෙන්වා දෙන්නේ ආර්ථික සංවර්ධනය අත්පත් කරගැනීමට හැකි වුවහොත් ශ‍්‍රී ලංකාව මුහුණදී සිටින සෙසු ගැටලූ බොහෝමයක් ද විසඳෙනු ඇති බවයි. ඒ නිසා ආර්ථික අර්බුද ජයගැනීම සඳහා එක්ව කටයුතු කරන්නැයි සියලූ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා. වසර 30ක යුද්ධය අවසන් කිරීමට සියලූදෙනා එක්වූවා මෙන් ජාතීන් අතර ප‍්‍රතිසන්ධානය ඇති කිරීමට ද සියලූදෙනා එක් විය යුතු බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර පටු ජාතිවාදී හෝ වර්ගවාදී සිතුම් පැතුම් සැබෑ නිදහස භුක්ති විඳීමට බාධාවක් බව කොළඹ අගරදගුරු අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙනවා. සැබෑ නිදහස භුක්ති විඳීම සඳහා සංස්කෘතික වටිනාකම් ද ආරක්ෂා කරගත යුතු බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.