Monday, December 23, 2024

General line - 0115112241

69වන නිදහස අභිමානවත්ව සැමරෙයි




වසර ගණනාවක් විවිධ ජාතීන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව 1948 වසරේ පෙබරවාරි මස 4 වෙනිදා නිදහස ලබාගත්තා. එහි 69වන සංවත්සරය වෙනුවෙන් අද පැවති ප්‍රධාන උත්සවය ආරම්භ වුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්ප්‍රාප්තියෙන්. අශ්වාරෝහකයන් ද පෙරටු කර ගනිමින් ජනාධිපතිවරයා උත්සව භූමියට පැමිණියා.

මෙලෙස උත්සව භූමියට සම්ප්‍රාප්ත වු ජනාධිපතිවරයා පිළිගනු ලැබූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන විසින්. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ති්‍රවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා, විසින් ජනාධිපතිවරයා ප්‍රධාන කොඩි කණු වෙත කැටුව යනු ලැබුවා. සක් නද හා මංගල ඛෙර වාදනය මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය ඔසවනු ලැබූයේ ඉන් අනතුරුවයි. තෝරාගත් පාසල් කිහිපයක සිසු සිසුවියන් 110 දෙනෙකු විසින් ජාතික ගීය ගායනා කිරීම ද මෙහිදී සිදුවුණා.

ජාතික ගීය ගායනා කිරීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා, ති්‍රවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා විශේෂ පීඨිකාවක් වෙත කැටුව යනු ලැබුවා. පාසල් සිසුවියන් කණ්ඩායමක් ජයමංගල ගාථා ගායනා කළේ එම අවස්ථාවේදියි.

ජාතික නිදහසේ 69වන වසර සමරන අවස්ථාවේ මාතෘ භූමිය වෙනුවෙන්, එහි ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි කැප කළ විරුවන් අමතක කළ හැකිද? එසේ නොවන බැවින් දේශප්‍රේමී ශ්‍රී ලාංකික එම විරුවන් සිහිකරනු උදෙසා විනාඩි 02ක නිශ්ශබ්ද්ධතාවක්ද පවත්වනු ලැබුවා. ජනාධිපති උත්තමාචාර සම්මාන පිරිනැමුණේ ඉන් අනතුරුවයි.

ජනාධිපති උත්තමාචාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා කතා කළා.

මෙවරත් ජාතික නිදහස් දින උළලේදී වඩාත් ඉහළ අවධානයක් දිනා ගත් අංගයක් වූයේ ආචාර පෙළපාලියයි. ඒ සඳහා යුද, නාවික, ගුවන් හමුදා සාමාජිකයන් මෙන්ම පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ද එක්ව සිටියා.