Friday, September 20, 2024

General line - 0115112241

ෆේස්බුක් දැමූ පාසල් වීඩියෝව ගැන පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයෙන් ඉල්ලීමක් කරයි




පාසල් සිසු සිසුවියන් පිරිසක් විද්‍යාලයක් තුළදී සදාචාර විරෝධි අන්දමින් හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල සීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතිනවා.

එවැනි වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයෙන් විමසීමක් කළා.

එහිදී, යම් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානිවන අන්දමේ ඡායාරූප, වීඩියෝ දර්ශන හෝ වෙනත් යමක් සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහැරීමෙන් වළකින්නැයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය අන්තර්ජාලය පරිහරණය කරන්නන්ගෙන් ඉල්ලීමක් කළා.

එහි ජ්‍යෙෂ්ඨ, තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ එවැනි සිදුවීම්වලින් සියදිවි නසා ගැනීම් වැනි බරපතල ක‍්‍රියා සිදුවිය හැකි බවයි.

සමාජ ජාල වෙබ් අඩවි භාවිත කරන්නන් සදාචාරය සම්බන්ධයෙන් ද සිතා බැලිය යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

තමන්ගේ හිතවතෙකු අපහසුතාවයට පත්වන ආකාරයේ වීඩියෝවක් හෝ ඡායාරූප තමන් අනික් අය සඳහා මුදා හරීද? යන්න පිළිබඳව තමන් විසින්ම ප්‍රශ්න කර ගත යුතු බවත් ඔහු සඳහන් කළා.

මෙවැනි ක්‍රියාවන්වලින් අපහසුතාවයට පත්වන්නා වෙනත් විසඳුම් කරා යෑමට පෙර බොහෝවිට සියදිවි නසා ගැනීමට පෙළඹිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන අයිතීන් සුරකීමේ පදනමේ සාමාජික චිරන්ත අමරසිංහ සඳහන් කළේ මෙවැනි වීඩියෝ තවදුරටත් බෙදාහැරීමෙන් වළකින ලෙසයි. තමා සියලු ෆේස්බුක් ඇඩ්මින්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ආකාරයේ සිදුවීම් ඇති වීමට මින් ඉදිරියට ඉඩ නොතබන ලෙසයි යනුවෙන්ද පැවසුවා.