Monday, December 23, 2024

General line - 0115112241

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මොටර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි - හැටන් බස් රථ අනතුරේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

රංජිත් රාජපක්ෂ




හෙට දිනයේ සිට මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. 

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ රිය අනතුරු වාර්තා වීම ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එවැනි අනතුරු අවම කර ගැනීම සඳහා එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.

රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ ධාවනය කරන බවට ද පොලිසිය වෙත තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව අපරික්ෂාකාරීව ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ තොරතුරු 119 හෝ 1997 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා.

ගත වූ පැය 24 තුළ මාරක රිය අනතුරු 10 කින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ උත්සව සමයේදී නාගරික ප්‍රදේශවල ජනතාව බහුලව ගැවසෙන බැවින් රිය ධාවනය කිරීමේදී සුපරික්ෂාකාරී වන ලෙසයි.

මේ අතර හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේ සිදුවූ අනතුරට අදාළ බස් රථයේ සවිකර තිබූ ක්‍ක්‍ඔඪ දත්ත මකා දමා ඇති බවට අනාවරණය වී තිබෙනවා. 

පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දත්ත ගබඩා පද්ධතිය මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කරන බවයි. 

බස් රථය ධාවනය වන අවස්ථාවේදී රියදුරු ජංගම දුරකථනය භාවිතා කරමින් සිටි බවට ද මේ වන විට කරුණු අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ පොලිස් ආරක්ෂාව මැද නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බස් රථයේ රියදුරු මේ මස 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. 

රෝහල වෙත පැමිණි වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිළිබඳව කරුණු විමසා රෝහල තුළම රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සැකකරු බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. 

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්ටත් නාවලපිටිය නව තිස්පනේ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙක්.

මේ අතර ලෝටන් ප්‍රදේශයේදී ද වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එලෙස අනතුරට ලක්ව ඇත්තේ එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක්. 

අනතුරින් වෑන් රථයේ රියදුරු එම එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.