Sunday, December 22, 2024

General line - 0115112241

“ඕනෑම ක්‍රියාමාර්ගයකට සූදානම්” – GMOA තවත් බලය රැස්කරයි




සයිටම් ආයතනය නීතිගත කිරීමට පියවර ගතහොත් ඊට එරෙහිව ඕනෑම කි‍්‍රයාමාර්ගයකට එළැඹීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මේ බව ප‍්‍රකාශ කළේ නුගේගොඩ ඊයේ (09) පස්වරුවේ පැවති සයිටම් විරෝධී රැළියට එක්වෙමින්.

මෙම රැළියේදී අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ද අදහස් පළ කළා.

දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් ද මෙම රැළියට එක්ව සිටියා. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත ද මෙහිදී අදහස් පළ කළා.

මේ අතර සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය ඊයේ කළු පටි පැලඳ රාජකාරියේ නිරත වුණා.

කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලය ද රෝහලේ කළු කොඩි ඔසවා සයිටම් ආයතනයට විරෝධය පළ කළා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ද ඊයේ පස්වරුවේ ගලහ මංසන්ධියේදී උද්ඝෝෂණයක නිරත වූයේ සයිටම් ආයතනයට එරෙහිවයි.