Saturday, September 21, 2024

General line - 0115112241

"තරුණ තරුණියන් රැකියා ගන්න ලෑස්ති වෙන්න"




යහපාලන රජය යටතේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අනුව ඉදිරි මාස හයක කාලය තුළ රැකියා අවස්ථා ලක්ෂ 5ක් පමණ ඇති වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කරනවා.

 ඒ සඳහා තරුණ පරපුර සූදානම් විය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.  අමාත්‍ය  රවී කරුණානායක මේ බව කියා සිටියේ මට්ටක්කුලිය විස්ට්වයික් උද්‍යානයේ නව පිහිනුම් තටාකය සඳහා මුල් ගල තැබීමේ උත්සව අවස්ථාවට අද (22) එක් වෙමින්. 

මුදල් අමාත්‍ය රවී කරුණානායක එහි දී වැඩි දුරටත් සඳහන් කළේ වත්මන් තරුණ පරපුර රජයේ රැකියා කෙරෙහි වැඩි උනන්දුවක් දක්වමින් සිටීම රැකියා ලබා දීමේ දී ගැටලුවක් බවට පත් වන බවයි.

"අපේ තරුණයෙක් හෝ තරුණියක් රැකියාවක් ලබා ගැනීමේ දී ප්‍රමුඛත්වය දක්වන්නේ රජයේ රැකියාවන්ට. නමුත් රජයට වඩා තුන් ගුණයක විතර වැටුපක් පෞද්ගලික අංශය ගෙවනවා. ඒ වගේම තමයි වැඩත් තුන් ගුණයක් විතර කරන්න ඕන. අද මේ යන ව්‍යාපෘති එක්ක තව මාස හය හතකින් රැකියා අවස්ථා ලක්ෂ 5 ක් විතර ඇති වෙනවා. අද විදේශ ආයෝජකයෙක් ඇවිත් රැකියා දාහක් දෙන්න පුළුවන් කිවුවා. ඊට සුදුසුකම් ඇති අය එන්නෙ සීයක් විතර. මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනෙ. තරුණ පරපුර තමන් අතේ තියෙන ජංගම දුරකතනයෙන් ඕපදූප හොයනවට වඩා.. ඒවා ව්‍යාප්ත කරනවට වඩා.. රට වෙනුවෙන් මීට වඩා වැඩ කරන්න ඕනෙ. 
මීට දශක දෙකකට විතර කලින් ඉන්දියාවෙ තිබුණ තත්ත්වය නරසිංහ රාඕ අගමැතිතුමා වෙනස් කළා. අද ඉන්දියාවට අමෙරිකාවෙන් යුරෝපයෙන් වැඩිම ආදායම් ලැබෙන්නේ තොරතුරු තාක්ෂණය හරහායි. මෙන්න මේ තත්ත්වය තමයි අපි ඇති කළ යුත්තේ."
යනුවෙන් එහිදී අමාත්‍යවරයා සඳහන් කළා.