Friday, September 20, 2024

General line - 0115112241

ලාදුරු යළි හිස ඔසවයි - වැඩිම අවධානම බස්නාහිර - කණගාටුදායක ලෙස දරුවනුත් ගොදුරු වෙයි




ඉකුත් වසරේ දී ලාදුරු රෝගීන් 1900 කට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වී ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ප‍්‍රියන්ත කරුණාරත්න පැවසුවේ ඒ අතරින් සියයට 42 ක ප‍්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.

ලාදුරු රෝගීන් සියයට 15 ක් දකුණු පළාතෙන් වාර්තා වී ඇති බවත් සමස්ථ ලාදුරු රෝගීන්ගෙන් සැළකියයුතු ප්‍රමාණයක් ළමා රෝගීන් බවත් පෙන්වා දුන්නා. මෙම ළමා රෝගීන් වයස අවුරුදු 15 ට අඩු අය බවත් මෙම තත්ත්වය සතුටුදායක තත්ත්වයක් නොවන බවයි ලාදුරු මර්දන ව්‍යාපාරය පෙන්වා දෙන්නේ.

ලාදුරු රෝගයේ ලක්ෂණ පිළිබඳව ද වෛද්‍ය ප‍්‍රියන්ත කරුණාරත්න කරුණු දැක්වූවා.

එහිදී ඔහු සඳහන් කළේ "සමේ රෝගවල මූලික හඳුනාගැනීම වන්නේ පැල්ලමක්, දදයක්, ගැටිත්තක් වැනි දෙයක්. මෙය වේදනාවක් හෝ කැසිල්ලක් පෙන්නුම් නොකර වුවද සිටිය හැකියි. එහෙත් ලාදුරු රෝගය හඳුනා ගන්න සාමාන්‍ය පුද්ගලයෙකුට අපහසු වෙනවා. ඒ නිසා සමේ දිගු කලක් පවතින සුව නොවන යම් පැල්ලමක් හෝ ගැටිත්තක් ඇත්නම් එය තමයි අවධානයට ලක් විය යුත්තේ. මෙය බෝවන රෝගයක්. මෙම තත්ත්වයෙන් මාස කිහිපයක් යන විට විවිධ සංකූලතා හටගන්න පුළුවන්." යනුවෙනි.

එවැනි රෝග ලක්ෂණ නොසලකා හැරීම මෙම තත්ත්වය වර්ධනය වීමට හේතුවක් වන බවද වෛද්‍ය ප‍්‍රියන්ත කරුණාරත්න සඳහන් කළා.

නියමිත පරිදි ප‍්‍රතිකාර කිරීමෙන් රෝගය වළක්වා ගත හැකි බවද ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.