Friday, September 20, 2024

General line - 0115112241

ෆුල්ෆේස් හෙල්මට් නීතිය ගැන පොලිසියෙන් පැහැදැළි කිරීමක්




යතුරුපැදි ආරක්ෂිත හිස් වැසුම් සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් ප‍්‍රකාශයට පත්වුවද එහි ඇතුළත් කරුණු මෙතෙක් ක‍්‍රියාත්මක නොවන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි පැවසුවේ ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබීම ඊට හේතුව බවයි. 

ආරක්ෂිත හිස්වැසුම් සම්බන්ධයෙන් වන ප‍්‍රමිතිය ඇතුළු කරුණු 10කින් යුත් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ ඉකුත් 23 වැනිදායි.

එහි ඇතුළත් නියෝග අනුව සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හෙල්මට් පැළඳීම තහනම් වනවා. 

එහෙත් මෙම නීතිය පොලිසිය මගින් මීට පෙර ක‍්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු අවස්ථාවේ දී ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. 

පවතින තත්ත්වය හේතුවෙන් මෙම ගැසට් නිවේදනයට අදාළ නිරීක්ෂණ, පොලිස් රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා යැවූ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි පැවසුවා. එම නිරීක්ෂණ ලද විගය ජනතාව දැනුවත් කරන බවත් එතෙක් ෆුල්ෆේස් හෙල්මට් තහනම ක‍්‍රියාත්මක නොවන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.