Tuesday, September 17, 2024

General line - 0115112241

කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි වරුසාවක් - සමයං ඇතුළු 7ක් මරුට (UPDATE)




කළුතර එතනමඩල ප‍්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට අද උදෑසන එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතරට පාතාල කල්ලි නායකයෙකු වන අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් සමයං ද ඇතුළත්. 

ඔහුගේ සමීපතම ගෝලයින් ලෙස සැලකෙන තවත් රැඳවියන් 4 දෙනෙකු ද වෙඩි ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණා. 

ජීවිතක්ෂයට පත්ව ඇති සෙසු දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්. එක් අයෙකු බන්ධනාගාර නියාමකවරයෙකු වන අතර අනෙක් පුද්ගලයා බන්ධනාගාර ජේලර්වරයෙකු වනවා. 

අද උදෑසන 8.00ත් 8.30ත් අතර කාලය තුළ මෙම වෙඩි ප‍්‍රහාරය සිදුවූයේ කළුතර මල්වත්ත බන්ධනාගාරය ආසන්නයේදීයි. 

ඒ අවස්ථාවේ මෙම රැඳවියන් පිරිස කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් තිබුණා. 

පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමෙන් සැරසුණු කැබ් රථයකින් පැමිණි පිරිසක් වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. 

ප‍්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් මේ වන විට ප‍්‍රතිකාර ලබන්නේ කළුතර නාගොඩ රෝහලේයි. 

මේ අතර වෙඩි තැබීම සිදුකිරීමට පුද්ගලයින් පැමිණ ඇත්තේ නවීන පන්නයේ වෑන් රථයකින් සහ කැබ් රථයකින්.

බන්ධනාගාර බස් රථය මාර්ගයේ පැමිණෙන විට අදාළ කැබ් රථය මග හරස්කර නවතා වෙඩි තැබීම සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

වෙඩි තැබීම සඳහා පැමිණි පුද්ගලයින් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිට ඇති බවද තහවුරු වී තිබෙනවා. 

පොලිස් පරීක්ෂකවරයෙකුගේ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිට ඇති පුද්ගලයෙකු බන්ධනාගාර බස් රථයට ගොඩ වී වෙඩි තැබීම සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වුණා. 

වෙඩි තැබීම සඳහා පුද්ගලයින් 12 දෙනෙකු පැමිණ ඇති බවද තහවුරු වී තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විට පරීක්ෂණ සිදුකරනවා. 

කලක් තිස්සේ පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප‍්‍රතිඵලයක් ලෙස මෙය සිදුවන්නට ඇති බවයි පොලිසිය විශ්වාසය පළ කරන්නේ. 

පාතාල කල්ලි නායකයෙකු වන අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් සමයං කඩුවෙල ප‍්‍රදේශය ආශ‍්‍රිතව සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ අයෙක්. 

රණාලේ සමයා ලෙස ද ඔහු හඳුන්වනවා. කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේදී ද මීට පෙර ඔහුට ඉලක්ක කරගෙන වෙඩි ප‍්‍රහාරයක් එල්ල වුවද ඉන් ඔහුට කිසිදු හානියක් සිදුවූයේ නැහැ. 
 

-------------------------------------------------------------------------------------------------------------------

කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප‍්‍රහාරයක් - සමයං ඇතුළු 6ක් මරුට
(UPDATE) - 2017-02-27 09:15


කළුතර එතනමඩල ප‍්‍රදේශයේදී බන්ධනාගාර රැඳවියන් රැගත් බස් රථ දෙකකට එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ඒ අතරට පාතාල නායක අරුණ උදයශාන්ත නොහොත් ‘සමයං’ නමැත්තා ද ඇතුළත්. 

ජීවිතක්ෂයට පත්වූ පිරිස අතරට බන්ධනාගාර නිලධාරිවරයෙකු ද අයත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ.

සෙසු සිව්දෙනා ‘සමයං’ නමැත්තාගේ සමීප සගයන් බවයි වාර්තා වන්නේ. වෙඩි ප‍්‍රහාරයෙන් තවත් බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.