Tuesday, September 17, 2024

General line - 0115112241

බන්ධනාගාර බස් රථයට වෙඩි තබා 07 ක් ඝාතනය කළ කල්ලිය හඳුනාගනී




කළුතර මල්වත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලිස් කණ්ඩායම් විසින් මේ වන විට සිද්ධියට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.

එම සිද්ධියෙන් මිය ගිය එම්.පී. අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් සමයං නැමැති පාතාල සාමාජිකයාට විරුද්ධව ක්‍රියාත්මක වූ කණ්ඩායමක් පිළිබඳව හඳුනාගෙන ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විශේෂ අවධානයක් යොමු කර මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

දැනට අනාවරණය වී ඇති කරුණු අනුව මෙම සැකකරුවන් පොලිස් නිල ඇඳුමට සමාන නිල ඇඳුමින් පැමිණි ඇතැයිද සැක කරනවා.

තවද සැකකරුවන් පැමිණි කැබ් රථය සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇති අතර එහි ලියාපදිංචි අයිතිකරු ද හඳුනාගෙන තිබෙනවා.

එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

 පාතාල කල්ලි නායකයෙකු වන අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් සමයං, ඔහුගේ සමීපතම ගෝලයින් ලෙස සැලකෙන තවත් රැඳවියන් 4 දෙනෙකු, බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මිය ගිය පිරිස අතර වනවා.

දෙවන පංතියේ ජේලර්වරයෙක් වන මියගිය 52 හැවිරිදි එස් ආර් විජේරත්න වසර 15 ක් කළුතර බන්ධනාගාරයේ සේවය කර තිබෙනවා. ඔහු ගිණුම් අංශයේ ප්‍රධාන ජේලර්වරයෙක් ලෙස සේවය කර ඇති අතර කීර්තිමත් නිලධාරියෙක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නිලධාරීන්ගේ අඩුපාඩුවක් හේතුවෙන් අද දින ඔහුව මෙම සේවයේ යොදවා තිබුණා. වාද්දුව ප්‍රදේශයේ පදිංචි ඔහු දෙදරු පියෙකි.

එස්. සන්නිගම් නම් අනෙක් නිලධාරියා අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  වයස අවුරුදු 23 ක් වූ ඔහු බන්ධනාගාර නියාමකවරයෙක් ලෙස සේවයට එක්වී තිබෙනවා. ඔහු අවි සහිත රාජකාරියේ යෙදී සිටියදී මෙම සිද්ධියට මුහුණ දුන්නා. ඔහුගේ පළමු පත්වීම කළුතර බන්ධනාගාරයට ලැබී තිබුණු අතර මීට වසරකට පෙර සේවයට එක් වී තිබෙනවා.

අදාළ බස් රථ දෙකේ නිලධාරීන් 12 ක් රාජකාරී යෙදී ඇති අතර ආයුධ සහිතව 07 දෙනෙක්  සිට තිබෙනවා.

අද උදෑසන 8.00ත් 8.30ත් අතර කාලය තුළ මෙම වෙඩි ප‍්‍රහාරය සිදුවූයේ කළුතර මල්වත්ත බන්ධනාගාරය ආසන්නයේදීයි.