Tuesday, September 17, 2024

General line - 0115112241

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීම ගැන පොලිසියට ඇඟිල්ල දිගුවෙයි




බන්ධනාගාර බස් රථයකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වීමෙන් රැඳවූවන් පස් දෙනෙකු ඇතුළු හත් දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වගකිම භාරගතයුතු බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන් පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාතාල කල්ලි සාමාජිකයන් මහේස්ත‍්‍රාත් අධිකරණයකට රැගෙන යන විට පොලිසිය නිසි ආරක්ෂාවක් ලබා දිය යුතු බවයි.

මෙම අවස්ථාවේදී පොලිසිය ඔවුන්ගේ වගකීම පැහැරහැර ඇති බවත් නිසි ආරක්ෂාවක් ලබා දුන්නේ නම් මෙම සිද්ධිය වළක්වා ගැනිමට තිබූ බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. 

මෙම සැකකරුවන් අධිකරණයට රැගෙන යාම සඳහාද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලා තිබූ බව  අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.පී.ජී. වික‍්‍රමසිංහ පවසනවා. නෙත් නිවුස් කළ විමසිමකදී ඔහු සඳහන් කළේ සිද්ධිය පිළිබඳ අමාත්‍යංශ මට්ටමින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. 

අදාළ කමිටුවේ සභාපති ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ රූමි මන්සෙන් පත්කර තිබෙනවා. සෙසු සාමාජිකයන් ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයකු වන එස්. මැදවැව සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ගාමිණි නවරත්න ද පත් කර ඇති බව ලේකම්වරයා සඳහන් කළා. 

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවද කමිටුවක් පත්කර තිබෙනවා.