Tuesday, September 17, 2024

General line - 0115112241

බන්ධනාගාර බස් රථයේ ඝාතන සිද්ධියේ සැකය අංගොඩ ලොක්කා දෙසට




කළුතර මල්වත්ත ප‍්‍රදේශයේදි බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල කල්ලි සාමාජිකයන් පස් දෙනෙකු ඇතුළු හත් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය තවදුරටත් විම්ර්ශන මෙහෙයවනවා.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් 05ක් පත් කර ඇති බවයි. ඊයේ (27) සිදුවු මෙම වෙඩි තැබිමෙන් මිය ගිය එම් පී අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් සමයං නැමැත්තා ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් පස්දෙනාගේත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේත්  පශ්චාත් මරණ පරීක්ෂ ඊයේ රාත‍්‍රියේ සිදු කෙරුණා. ඒ නාගොඩ රෝහලේදීයි.

මෙම ඝාතන පාතාල කල්ලි සාමාජියකන් දෙපිරිසක් අතර කලක සිට පැවති ආරවුලක ප‍්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බවටයි දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ‘‘අංගොඩ ලොක්කා‘‘ නමින් හැඳින්වෙන පාතාල නායකයා විසින් මෙම ඝාතන සිදු කරන්නට ඇති බවට සැක කෙරෙනවා. 

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට  බන්ධනාගාර අමාත්‍යංශය විසින් ත‍්‍රිපුද්ගල කමිටුවක්ද පත් කෙරුණා.

අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව් එම් පී ජී වික‍්‍රමසිංහ සඳහන් කළේ එහි වාර්තාව මාස එකහමාරක් ඇතුළත ලබා දෙන ලෙස දැනුම් දි ඇති බවයි. මෙවැනි සිද්ධීන් ඉදිරියට සිදු වීම වළක්වා ගැනිමට නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද අදාළ කමිටුවට නිර්දේශ කර තිබෙනවා.

කෙසේ වෙතත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු බන්ධනාගාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර සඳහන් කළේ පරිපාලනයේ පවතින දුර්වලතා හේතුවෙන් මෙවැනි සිද්ධීන් සිදු වන බවයි.