Tuesday, September 17, 2024

General line - 0115112241

පාසල් නිල ඇඳුම වෙනස් කරන්න ඇමතිගේ අවධානය - ගුරුවරියන්ටත් සහනයක්




එක් එක් පළාත්වල පවතින දේශගුණයට ගැලපෙන පරිදි පාසල් නිල ඇඳුමේ ආකෘතිය සහ වර්ණය වෙනස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල - මලියදේව විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.

සිසුන්ගේ මනස නිදහස් වන ආකාරයේ ඇඳුම් සකස් විය යුතු බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

පාසල් සිසු සිසුවියන් සිය සුදු පැහැති නිල ඇඳුම් කිලිටි නොකර සිටීම සඳහා බොහෝ වෙහෙසක් ගන්නා ආකාරය තමා නිරන්තරයෙන් දැක ඇති බවයි ඇමතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ. පාසල් සිසු සිසුවියන් මෙතරම් අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබිය යුතු නැති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

ඇතැම් ගුරුවරියන් දරු ප්‍රසූතියට සූදානම්ව සිටියදී පවා ඉතා අපහසුතාවයෙන් සාරිවලින් සැරසී පාසලට එන බවද පැවසුවා. ගුරුවරියන්ට විධිමත් සුදුසු ඇඳුමක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ.