Tuesday, September 17, 2024

General line - 0115112241

‘සමයං‘ ඝාතන ඔත්තුව ගැන පොලිසියට අලූත් සැකයක් - බන්ධනාගාර නිලධාරීන් තබා ඇත්තේ එක් වෙඩිල්ලයි!




පාතාල කල්ලි නායක සමයං ඇතුළු පිරිස පොලිස් ආරක්ෂාවක් නොමැති කළුතර බන්ධනාගාරයේ බස් රථයකින් පිටව යන බවට තොරතුරු ලබාදී ඇත්තේ කළුතර බන්ධනාගාරය තුළින්ම බවට සැක මතුව තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් කණ්ඩායම් පවසන්නේ කළුතර බන්ධනාගාරයේ රදවා සිටින තවත් පාතාල කල්ලි සාමාජිකයෙකුගෙන් විසින් මෙම තොරතුර ලබා දෙන්නට ඇති බවට සැක කෙරෙන බවයි. 

ඝාතනය සිදු වූයේ ඉකුත් සදුදා පෙරවරුවේයි. ඒ අනුව ඊට ආසන්න දින කිහිපය සහ එදින පෙරවරුවේ සිදු වූ සියලූ ඇමතුම් පිළිබද දුරකතන කුළුණු හරහා විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමටයි පොලිසිය තීරණය කර තිබෙන්නේ. 

පාතාල නායක සමයං නමැත්තා ඝාතනය කිරීම පාතාල කල්ලි දෙකක් අතර දීර්ඝ කාලයක සිට පැවති ගැටුමක ප‍්‍රතිඵලයක් වනවා. අංගොඩ ලොක්කා නමැති පාතාල කල්ලි සාමාජිකයා විසින් මෙම ඝාතන සිදු කරන්නට ඇති බවයි දැනට සැක කෙරෙන්නේ. 

සමයං නමැත්තා වෙනුවෙන් පෙනී සිටි ඔහුගේ නීතිඥයින් ද මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. ජීවිත තර්ජන ඇති බැවින් බන්ධනාගාරයෙන් පිටත දී තම සේවාදායකයාට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඔවුන් කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදු කර තිබූ බවයි විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ. 

බන්ධනාගාරය තුළදී ද සමයං නමැත්තා රැදවූවන්ගෙන් වෙන් කර විශේෂ කුටියක රදවා තිබුණා.  ඒ අනුව සමයං නමැත්තා අධිකරණයට ඉදිරිපත් කරන සෑම අවස්ථාවකදීම විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමටයි අධිකරණය නියෝග කර තිබුණේ. 

එලෙස ආරක්ෂාවක් ලබාදිය නොහැකි අවස්ථාවල දී සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකර ඒ පිළිබද මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද නියෝග කර තිබුණා. 

කෙසේ වෙතත් සිද්ධිය වූ දින පොලිස් රැකවල් නොමැතිව සමයං නමැත්තා අධිකරණයට රැගෙන යාම සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වල අවධානය යොමුව තිබෙනවා. 

සමයං ඇතුළු පිරිස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ඒමට සූදානම් කිරීම සහ එම කාලවේලාවන් නිවරැදිව ඝාතනයට පැමිණි පුද්ගලයින් සදහා ලැබී ඇති බවද විමර්ශනවල දී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ. 

එමෙන්ම වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ දී ප‍්‍රතිප‍්‍රහාර වශයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් එල්ල කර ඇත්තේ එක් වෙඩි ප‍්‍රහාරයක් පමණක් බව ද මෙම පරීක්ෂණවල දී හෙළි වී තිබෙනවා.