Tuesday, September 17, 2024

General line - 0115112241

දිවයින පුරා ඇති සියලූ අධිකරණ වල ආරක්ෂාව තර කෙරෙයි





දිවයින පුරා ඇති සියලූ අධිකරණවල ආරක්ෂාව තර කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. 

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත සියලූම පොලිස් ස්ථාන වෙත මේ පිළිබද දැනුම් දීමක් සිදුකර ඇති බවයි. 

දිවයින පුරා පිහිටි සියලූම අධිකරණ සංකීර්ණවලට පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබෙනවා. එහි යම් අඩුවක් හෝ ගැටළුවක් ඇත්නම් ඒ පිළිබද කඩිනමින් දැනුම් දීමට පියවර ගන්නා ලෙසයි පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ. 

ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණ සංකීර්ණයේ තිබී චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක්, රිවෝල්වරයක් සහ උණ්ඩ තොගයක් ඊයේ සොයා ගැණුනා. 

මෙම සිද්ධියෙන් පසු අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමටයි පොලිසිය තීරණය කර තිබෙන්නේ. 

ප‍්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයෙකු බව කියන රත්මලානේ රෝහා නමැත්තා ඊයේ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණ සංකීර්ණය වෙත රැගෙනවිත් තිබුණා. 

ඒ, කුරුණෑගල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ නඩු කටයුත්තක් සදහායි. 

කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට මොහු අධිකරණ සංකීර්ණයට රැගෙනවිත් තිබුණා. 

අදාළ ගිනි අවි සොයා ගන්නා අවස්ථාවේ දී වෙඩි තැබීම සදහා සූදානම් තත්වයේ තිබූ බවයි පොලිසිය පැවසුවේ. 

කිසියම් පාර්ශවයක් රත්මලානේ රෝහා නමැති පාතාල කල්ලි සාමාජිකයා ඝාතනය කිරීමේ අරමුණින් මෙම ගිනි අවි සහ උණ්ඩ සගවා තබන්නට ඇතැයි සැක කෙරෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.