Monday, April 29, 2024

General line - 0115112241

කූඨ ලේඛණ සකසා තුන්කෝටි හාර ලක්‍ෂයක මුදලක් වන්දි වශයෙන් 19 දෙනෙකු ලබාගෙන




මෙරගහකන්ද වාරි ව්‍යාපෘතිය යටතේ පුද්ගලයන් 19 දෙනෙකු රුපියල් තුන්කෝටි හාර ලක්‍ෂයක මුදලක් වන්දි වශයෙන් ව්‍යාජ ලෙස ලබාගෙන ඇතැයි වාර්තා වනවා. 

කූඨ ලේඛණ සකස් කර ඔවුන් මෙම වන්දි මුදල් ලබාගෙන ඇති බවයි මොරගහකන්ද වාරි ව්‍යාපෘති කාර්යාලය ප‍්‍රකාශ කළේ. 

වන්දි ලබාගැනීමේදී ප‍්‍රධාන පවුල්වලට සම්බන්ධ අනු පවුල්වල පුද්ගලයන් දහනව දෙනෙකු සිය විවාහ සහතික සහ වයස වෙනස් කර සැකසූ උප්පැන්න සහතික ඉදිරිපත් කර මෙලෙස ව්‍යාජ ලෙස වන්දි ලබාගෙන තිබෙනවා. 

මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවන ප‍්‍රධාන පවුල්වල පිරිස් සදහා වන්දි මුදල් ලබාදී තිබුණද එම පවුල්වලට සම්බන්ධ අනු පවුල් සදහාද වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මකයි. 

එහිදී අනු පවුලක් සදහා රුපියල් ලක්‍ෂ 16 ක මුදලක් ලබාදෙන බවයි මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී ඩි දයානන්ද ප‍්‍රකාශ කළේ. 

කූඨ ලේඛණ සකස් කර එලෙස වන්දි මුදල් ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් නාවුල ප‍්‍රාදේශිය ලේකම් නිශාන්ත කරුණාතිලකගෙන් විමසීමක් කළා. 

එහිදී ඔහු සදහන් කළේ කූඨ ලේඛණ සකස් කිරීම සදහා අනුබල දුන් බව කියන විවාහ රෙජිස්ට‍්‍රාර්වරයෙකුගේ වැඩතහනම් කිරීමටද තමන් නිර්දේශ කළ බවයි. 

ඒ පිළිබද මාතලේ දිස්ති‍්‍රක් රෙජිස්ට‍්‍රාර්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් කළ බවද ඔහු සදහන් කළා.