Monday, December 23, 2024

General line - 0115112241

ජනපති අද රුසියාවට 




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිල සංචාරයක් සදහා අද (22) රුසියාව බලා පිටත්ව යනවා. 

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන්ගෙන් ලැබුණු ආරාධනයක් අනුව මෙම සංචාරය සිදුවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. 

1974 වසරේදී එවකට අග‍්‍රාමාත්‍ය ධුරය දැරූ අභාවප‍්‍රාප්ත සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගෙන් පසු ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය නායකයෙකු රුසියාවේ නිල සංචාරයක් සදහා එක්වන පළමු අවස්ථාවද මෙය වනවා. 

වත්මන් ආණ්ඩුවේ විදේශ සබදතාවල වැදගත් සන්දිස්ථානයක් ලෙසද මෙම සංචාරය හදුන්වා දිය හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ. 

ශී‍්‍ර ලංකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ති‍්‍රක සබදතා ආරම්භ කර වසර 60 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකටද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම සංචාරයේදී සහභාගි වනවා. 

දෙරට අතර වෙළද හා ව්‍යාපාරික සබදතා ශක්තිමත් කිරීම සදහා ශී‍්‍ර ලංකා - රුසියා ව්‍යාපාරික සංසදය විසින් සංවිධාන කරන හමුවකටද ජනාධිපතිවරයා සහභාගිවීමට නියමිතයි.

රුසියාව අඩු ණය බරක් සහ ඉහළ අපනයන ආදායම ඇති රටක් ලෙස විචාරකයන් හදුන්වා දෙනවා.

ශී‍්‍ර ලංකාවේ තේ අපනයනයෙන් සියයට 17 ක් පමණ මිළදී ගන්නේද රුසියාවයි.