Saturday, September 21, 2024

General line - 0115112241

තාජුඩීන්ගේ පරීක්ෂණ සංකීර්ණ වෙයි - මළසිරුරේ වැදගත්ම අස්ථි අතුරුදහන්




රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතන පරීක්ෂණ සංකීර්ණ බවත්, එය අවසන් කිරීම සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට අද (30) දැනුම් දුන්නා.

ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයා වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි.

එය අසාධාරණ බවත්, පරීක්ෂණ අවසන් වන දිනය අධිකරණයට දැනුම් දිය යුතු බවත් ඔහු එහිදී ප‍්‍රකාශ කළා. 

ඊට ප‍්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක කියා සිටියේ මෙම පරීක්ෂණය අනෙක් පරීක්ෂණවලට සාපේක්ෂව සංකීර්ණ වී ඇති බවයි.

තාජුඞීන්ගේ මළ සිරුරේ වැදගත් අස්ථි කොටස් කිහිපයක්ම අතුරුදන්ව තිබූ බව සිරුර ගොඩගෙන සිදු කළ පරීක්ෂණයේ දී අනාවරණ වූ බව ඔහු සඳහන් කළා.

සිද්ධියට අදාළව සිදු කරන පරීක්ෂණවල ප‍්‍රගතිය මීළග නඩු වාරයේ දී දැනුම් දෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අපේ‍්‍රල් මස 05 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.