Friday, May 17, 2024

General line - 0115112241

පාලන මිල අවුලෙන් රට පුරා කඩ වහන්න සැරසෙයි




අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සඳහා පැනවුණු පාලන මිලට විරෝධය පළ කරමින් වෙළෙඳසැල් වසා දමන බව සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති බන්දුල ජයමාන්න මහතා සඳහන් කළේ පාලන මිලට එරෙහිව ඉදිරියේදී නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ද සූදානම් බවයි. කළ යුතුව තිබුණේ රජය විසින් මෙම භාණ්ඩ ගෙන්වා අදාළ පාලන මිල යටතේ විකිණීමට හැකි පරිදි වෙළඳුන්ට ලබා දීම බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ. මෙම ගැටලුව දිගින් දිගටම පවතින්නේ නම් ඉදිරියේදී රට පුරා කඩ වසා මීට විරෝධය පාන බවත් සඳහන් කළා.  පාලන මිල හෙයින් පාරිභෝගික භාණ්ඩ ලාබ ලැබෙන පරිදි විකිණිය නොහැකි බවයි ඔවුන්ගේ මතය වී තිබෙන්නේ.

මේ අතර ඉන්දීය බහු ජාතික සමාගමකට ශ‍්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් ආරම්භ කිරීමට රජය අවසර දී ඇති බවද බන්දුල ජයමාන්න මහතා ප‍්‍රකාශ කළා. රට පුරා සුපිරි වෙළඳසැල් 2400 ක් එහිදී ඇති කිරීමට නියමිත බවත් හෙළි කළා. මෙය දේශීය ව්‍යාපාරිකයාට තවත් පහරක් වන බවයි එහිදී වැඩි දුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ හිඟයකින් තොරව ජනතාවට භාණ්ඩ ලබාදීම රජයක වගකීමක් වන බවයි. තරඟකාරීත්වයක් ඇති කිරීමේ අරමුණින් වර්ෂ 2017 වන විට සිල්ලර කඩවලට අමතරව පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් 2000 ක් රට පුරා ඇති කිරීම රජය අපේක්ෂා කරන බවත් පෙන්වා දුන්නා.