Saturday, September 21, 2024

General line - 0115112241

රටේ වෛද්‍යවරුන්ට ඇමති කරුණු කිහිපයක් මතක් කරයි




මාධ්‍ය මගින් දැනගත් පරිදි 2017.04.07 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ආරම්භ කිරීමට නියමිත බව කියන වැඩ වර්ජනය මේ අවස්ථාවේ දී අසරණ රෝගී ජිවිත අනතුරේ දැමීමට සිදු කරන පටු වෘත්තීය ක්‍රියාමාර්ගයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වනවිටත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට අවස්ථා ගණනාවකදීම සාකච්ඡා ලබා දී තිඛෙන අතර, ගැටළුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන බවත්  ඔවුන් වෙත ප්‍රකාශ කර තිබෙන බවද පෙන්වා දෙනවා.

තවද ජනාධිපතිවරයා සමග රජයේ වෛද්‍ය නිලධාරි සංගමය හා වගකිවයුතු සියළු පාර්ශ්වයන් තවමත් සාකච්ඡා කරමින් එම ගැටළුවට විසඳුමක් ලබාදීමට රජය කටයුතු කරන අවස්ථාවක සහ නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන අවස්ථාවක මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයන් සිදු කිරීම පදනම් විරහිත බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

මේ වනවටත් වෛද්‍ය සභාව, විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨාධිපතිවරුන්, අධ්‍යාපන විශේෂඥයින්, නීති විශේෂඥයින් සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය විද්‍යාල සඳහා වන අවම ප්‍රමිතීන් පිළිබඳව වාර්තාවක් සමපුර්ණ කර ඇති අතර  මෙහිදී වෛද්‍ය විද්‍යාලවල අවම ප්‍රමිිතීන් පිළිබඳ සකස් කළ වාර්තාව ගැන සාකච්ඡා කිරීමට වෛද්‍ය සභාව මගින් 2017.04.07 දින හදිසි රැස්වීමක් ද කැඳවා තිබුණා. මෙම වාර්තාවේ අඩංගු වෛද්‍ය විද්‍යාලවල අවම ප්‍රමිතිය පිළිබඳව සාකච්ඡා කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අවසන් තීන්දුවක් ලබාදීමට ද නියමිතව ඇති බවයි ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 

ඉන්ෆ්ලුවෙන්සා රෝගය හා ඩෙංගු රෝගය පැතිරයාම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවත් එවැනි අවස්ථාවක දී අසරණ රෝගීන් බිල්ලට දෙමින් සිදු කිරිමට යන වැඩවර්ජනය කිසිවිටෙකත් රෝගීන්ට සහ ජනතාවට හිතසුව පිණිස නොවන හුදු ආත්මාර්ථකාමි වැඩවර්ජනයක් බව සඳහන් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

තවද අවුරුදු නිවාඩු දිනවල සායන නොපැවැත්වෙන බැවින් දුප්පත් අසරණ රෝගීන් තම තමන්ගේ ඖෂධයන් ලබාගැනීමට පැමිණෙන කාල වකවානුවක දී මෙවැනි වර්ජන සිදු කිරිම රෝගී ජිවිතත් ප්‍රාණ ඇපයට තබා ගැනීමක් බවටද චෝදනා කරනවා.