Saturday, September 21, 2024

General line - 0115112241

වෛද්‍ය වර්ජනය ස්ථීරයි - වාරණයක් ඉල්ලා ගොනු කළ පෙත්සමකුත් ඉවතට




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට කැදවා ඇති වැඩ වර්ජනයට තවත් වෘත්තීය සමිති ගණනාවක් ද සහය පල කර තිබෙනවා. 

එහි ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවක දී පැවසුවේ සියලූ වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ද හෙට ඉවත් වන බවයි. 

ආයුර්වේද වෛද්‍යවරුන් සහ ලියාපදිංචි සහකාර වෛද්‍යවරුන් ද ඊට එක්වන බව ඔහු කියා සිටියා. 

මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පල කිරීම මෙම වැඩ වර්ජනයේ අපේක්ෂාවයි. 

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ ඞී ලාල් කාන්ත ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියා. 

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස හෙට වැඩ වර්ජනය සහභාගී වන බවයි එහිදී ඔහු සඳහන් කළේ.

එමෙන්ම සෞඛ්‍ය ශේෂ්ත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති සියල්ල මෙයට එක්වන බවත් මෙම වැඩ වර්ජනය නිසැකවම සාර්ථක වන බවද ඔහු සඳහන් කළා.

අමාත්‍ය රාජිත සේනාරත්න මෙන්ම තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද මෙහිදී විවේචනය කෙරුණා.මෙම සටන මෙතකින් නිමා නොවන බවද ඔහු එහිදී සඳහන් කළා.

හෙට උදෑසන අටට ආරම්භ වන සිය වැඩවර්ජනය අනිද්දා උදෑසන අට දක්වා සිදු කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් හෙට දිනයේදී පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වැඩ වර්ජනය වළක්වමින් වාරණ නියෝගයක් නිකුත්කරන ලෙසට ඉල්ලා හෘද රෝගියකු කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරනය අද ප්‍රතික්ෂේප කළා

පෙත්සම්කරුගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීමට තරම් ප්‍රමාණවත් හේතුවක් නොමැති බව පෙන්වා දුන් දිසා විනිසුරුවරයා මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට  රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් ට මැයි මස 4 වෙනිදා අධිකරනයේ පෙනී සිටීමට අතුරු තහනම් දැන්වීම් සිතාසි නිකුත් කරන ලදී .

ඇතුල් කොට්ටේ පදිංචිකරුවකු වන එච්.අයි.පියසේන නැමැත්තෙක් මෙම නඩුව ගොනු කර තිබුණු අතර කම්කරු අරගලයක් නොවන මෙම වැඩවර්ජනය හේතුවෙන් තමා ඇතුළු ජනතාවට මහත් පීඩාවක් ඇතිවිය හැකි බව පෙත්සමෙන් පවසා සිටියි.

මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පවත්වනු ලබන මෙම වැඩවර්ජනය තුලින් අභියාචනාධිකරණය ලබා ඇති තීන්දුවට ද අභියෝගයට ලක්කරන බව පෙත්සම්කරු පවසා තිබුණා.