Sunday, September 22, 2024

General line - 0115112241

බස්, දුම්රිය සහ විදුලි උත්පාදනයත් අවදානමක




අද සහ හෙට දිනය සඳහා පමණක් අවශ්‍ය තරම් ඉන්ධන තොග තමන් සතුව පවතින බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. 

එහි සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ ඛණිජ තෙල් සේවක වර්ජනය අඛණ්ඩව ක‍්‍රියාත්මක වුවහොත් ලංගම බස් ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට විකල්ප ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවන බවයි. 

ඛණිජ තෙල් සේවක වර්ජනය හේතුවෙන් ලංගම බස් රථ ධාවනයට යම් බලපෑමක් වී ඇත්දැයි නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර පෞද්ගලික බස් ධාවනයට ද මේ දක්වා ගැටළුවක් ඇති වී නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. 

එහි ගැමුණු විජේරත්න සඳහන් කළේ ඉන්ධන හිගයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. 

ඛණිජ තෙල් සේවක වර්ජනයක් ක‍්‍රියාත්මක වුවද දුම්රිය ගමන් සඳහා ද මෙතෙක් ගැටළුවක් සිදුව නොමැති බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ සඳහන් කළා.

ඛණිජ තෙල් සේවක වර්ජනයක් ක‍්‍රියාත්මක වුවද විදුලි උත්පාදනයට ගැටළුවක් සිදු නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා. 

එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ අවශ්‍යතරම් වන ඉන්ධන සංචිත බලාගාර සතුව පවතින බවයි. 

යම් හෙයකින් වර්ජනය අඛණ්ඩව ක‍්‍රියාත්මක වුවහොත් ඉදිරියේ දී ගනු ලබන ක‍්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සිදුවන බව ඔහු සඳහන් කළා.