Sunday, September 22, 2024

General line - 0115112241

මීතොටමුල්ල ඛේදවාචකය පිළිබඳ ජපාන විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ජනපතිට භාරදෙයි.




මීතොටමුල්ල කසළ කන්ද ඛේදවාචකයට හේතු වූ කරුණු සහ එවැන්නක් යළිත් සිදුවීම වැළැක්විමට ගත හැකි පියවර නිර්දේශ කිරීම සඳහා පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන්නේ ය.

නියෝජිත පිරිසේ ප‍්‍රධානියා වන Mitsutake Numahata මහතා විසින් එම වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමෙන් පසු සිය නිර්දේශ පිළිබඳ පැහැදිළි කිරීමක් ද සිදු කළේය.

මෙම ගැටලුව විසඳීම සඳහා කෙටිකාලීන පියවර වශයෙන් කසළ කන්දේ පදනම සවිමත් කර පොලිතින්වලින් වසා දැමීම සහ ඉදිරි වාර්ෂා කාලයට පෙර කසළ කන්දේ පිහිටීම කන්දක හැඩයට නිර්මාණය කර ගුරුත්වාකර්ෂණයට අනුකූල ලෙස සම්පාදනය කිරීම පෙන්වා දෙන ලදී.

කසළ කන්දේ ප‍්‍රමාණය ක‍්‍රමයෙන් අවම කර ප‍්‍රතිචකී‍්‍රකරණය, බලශක්ති උත්පාදනය සහ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා උපයෝගි කර ගැනීම දීර්ඝකාලීන නිර්දේශ ලෙස ඉදිරිපත් කරනු ලැබීය.

මෙම ඛේදවාචකය සිදුවී ඉතා කෙටි කාලයක් තුළ මෙරටට පැමිණ පුළුල් අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් භාරදීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නියෝජිත පිරිස වෙතත්, ජපාන රජය වෙතත් සිය ස්තූතිය පිරිනැමීය.

මෙහිදී අදහස් දැක්වූ ජපාන නියෝජිත පිරිසේ ප‍්‍රධානිය පෙන්වා දුන්නේ 1960 දී ජපන් ජනතාවද කසළ කඳු පිළිබද විරෝධය පළකිරීමත් සමග එම ගැටලුව නිරාකරණය කර ගැනීමට ගත් පියවර සම්බන්ධයෙන් ජපානය සතු මහඟු අත්දැකීම් ශී‍්‍ර ලංකාවට ද වැදගත් වනු ඇති බවයි.

මානූෂිය ඛේදවාචකයක් වූ මීතොටමුල්ල සිදුවීම දේශපාලන ප‍්‍රශ්නයක් බවට පත් කරගෙන තිබෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

ශී‍්‍ර ලංකාවේ කසළ ගැටලුව විසඳීමට ජපන් රජයේ සහය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර පි‍්‍රයදර්ශන යාපා, පාඨලී චම්පික රණවක, ජපාන තානාපති කෙනෙචි සුගනුමා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.