Saturday, July 27, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කඩිනමින් පාර්ලිමේන්තුවට




පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති විදේශ විනිමය පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කළ විශේෂ පෙත්සම් තුනක් සම්බන්ධයෙන් කරුණු විමසීම අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවසන් කෙරුණා.

ඒ අනුව පෙත්සම්කරුවන්ට සහ නීතිපතිවරයාට මෙම පෙත්සම් සම්බන්ධයෙන්  ලිඛිත දේශන හෙට (25) දිනට පෙර ගොනු කරන ලෙසට විනිසුරු ඊවා වනසුන්දර ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය කඩිනමින් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යැවීමට කටයුතු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද දැන්වුවා.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන ඇතුළු පෙත්සම්කරුවන් තිදෙනකු මෙම පෙත්සම් ගොනු කර තිබුණා. 

කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත තුළින් ජනතාවගේ ස්වෛරීත්වය ශක්තිමත් වන බවත් රටේ මුල්‍ය ස්ථායිතාවය තහවුරු වන බවයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වුයේ.

එම පනත් කෙටුම්පත් නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් හෝ ජනමත විචාරනයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙසට පෙත්සම්කරු මෙම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

විදේශ විනිමය පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා මහ බැංකුව සතු මූල්‍ය  අධීක්ෂණ කටයුතු බැහැර කර ඇති බවට පෙත්සම්කරු පවසා සිටියා. ඒ තුළින් රටේ ජාතික ආර්ථිකය සහ රටේ ස්වෛරීභාවයට හානියක් වන බවයි පෙත්සම්කරු පවසා සිටියේ.

මුදල් විශුද්ධීකරනය වැළක්වීමේ විදේශ සම්මුතින්ට පටහැනිව රටට නීතිවිරෝධී ලෙසට මේ තුළින් මුදල් ගලා ඒමට ඉඩ සලස්වා ඇති බවද සඳහන් කෙරුණා.