Sunday, September 22, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව - ඉන්දියාව මාර්ගයකින් සම්බන්ධ කිරීමට සාකච්ඡා කරයි




ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම්බන්ධ කරමින් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව ඉන්දියාවේ මහාමාර්ග හා නාවික කටයුතු පිළිබඳ ඇමති නිතින් ගද්කාරී අදාළ සාකච්ඡාවෙන් පසු ට්විටර් පණිවුඩයක් ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා.

"ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව නවදිල්ලියේදී හමුවී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මාර්ගය ගැන සාකච්ඡා කළා" ගද්කාරි ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙනවා.


 

මේ අතර අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ,

යාපනය – මන්නාරම – ත්‍රිකුණාමලය මහා මාර්ගය සහ දඹුල්ල –  ත්‍රිරකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළුව ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කාර්යයන් සඳහා ඉන්දීය මාර්ග ප්‍රවාහන, මහාමාර්ග සහ නාවුක අමාත්‍යාංශයේ පූර්ණ සහය ලබා දෙන බව අමාත්‍ය  නිතින් ගද්කාරි (Hon. Nitin Gadkari) පැවසූ බවයි.

ඊ‍යේ (26) දින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ලාංකීය නියෝජිත පිරිස හමුවෙමින් ගද්කාරි පැවසූයේ, මේ වන විට තම අමාත්‍යාංශය යටතේ දිනකට කිලෝමීටර 23 ක මහා මාර්ග ඉදි කෙරෙමින් පවතින බවයි. 

නවීන තාක්ෂකණය හා සිය අත්දැකීම් පදනම් කරගනිමින් වසර සියයක් පුරා කල්පවතින අන්දමින් මාර්ග ඉදිකිරීමේ ශක්‍යතාව දැන් ඉන්දියාව සතු බවද අවධාරණය කර තිබෙනවා.

යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමලය යා කෙරෙන මාර්ගයක් ඉදි කිරීම නිසා උතුරේ ආර්ථිකය යළි පණගැන්වීමට අවශ්‍යම පසුබිම සකස් කර ගත හැකි ආකාරය පිළිබඳව ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.