Sunday, September 22, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියෙක් ඝාතනය කළ සැකකරු පොලිස් වෙඩි පහරින්ම මරුට




කුරුණෑගල මාස්පොත ප‍්‍රදේශයේ දී පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් අද ජීවිතක්ෂයට පත්වුණා. 

ඒ, සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා වලාන දූෂණ මර්දන ඒකකය සහ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් හම්බන්තොට බදගිරිය මීගහජදුර ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි. 

එහිදී සැකකරු පොලිස් නිලධාරීන් දෙසට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර ඇති අතර පොලිසිය ද ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. 

එහිදී තුවාල ලැබූ සැකකරු හම්බන්තොට දිස්ත‍්‍රික් රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ. 

මෙලෙස මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බලකායේ පලා ගිය සෙබළෙකු වන ජයලත් කණ්ඩම්බිගේ චමින්ද නොහොත් ‘‘මාතර රොෂාන්’’ නමැත්තායි. ‘‘බයිසිකල් බේබි’’ නමැති අන්වර්ථ නාමයකින් ද ඔහු හදුන්වා තිබෙනවා. 

මෙම වැටලීමේ දී දෙපාර්ශවය අතර සිදු වූ වෙඩි හුවමාරුවේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා හම්බන්තොට දිසා රෝහලට ඇතුළත් කෙරුණා.