Sunday, September 22, 2024

General line - 0115112241

සම්බුදු තෙමඟුල බැති සිතින් සැමරීමට රටම සැරසෙයි




මෙවර වෙසක් පුන් පොහෝ දිනය එළඹෙන්නේ ශ‍්‍රී ලාංකීය බෞද්ධ වංශ කතාවේ ස්වර්ණමය පරිචේෙඡ්දයක සමාරම්භය සනිටුහන් කරමින් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

තෙවරක් සම්බුද්ධ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් අප මාතෘ භූමිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර වෙසක් උළෙල පැවැත්වෙන රට ලෙසින් මෙවර පිදුම් ලැබීම විරල භාග්‍යයක් ලෙස සලකන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

එය ශ‍්‍රී ලාංකාව ජාත්‍යන්තරව හිමිකර ගත් විශිෂ්ට ජයග‍්‍රහණයක් බවද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ වෙසක් පණිවිඩයේ දැක්වෙනවා. 

ත‍්‍රිවිධ මංගල්‍යය අතුරින් බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් මංගල්‍යයත් සමඟ ඇරඹෙන අපේ ජාතික වංශ කතාව මෙවර ජාත්‍යන්තර වෙසක් උළෙල ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම ඔස්සේ ධරණීය අවකාශයේ නව මානයකට දිසා ගත වනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

එකී අභිමානය සමඟ සියලූ පටු සීමාවන් අභිබවමින් රටක් ලෙස ගෝලීය සංසදය තුළ වඩා සාඩාම්බරව නැඟී සිටීමට කැපවීම මෙවර අපගේ වෙසක් අදිටන බවට පත්කර ගනිමු යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. 

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනය වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවන්හි සම සමව යෙදෙමින් මහත් බැතියෙන් සමරණ සුවිශේෂ ආගමික උත්සවයක් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නිකුත් කළ වෙසක් පණිවිඩයේ සඳහන්. 

සියවස් ගණනාවක් නිර්මල ථේරවාදී බුදු දහම රැක ගනිමින් සෙසු ලෝකයාට ද ධර්මය ප‍්‍රචාරය කිරීමෙහි ප‍්‍රමුඛව කටයුතු කළ අප රට තුළ එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව පැවැත්වීමට හැකිවීම අගනා අවස්ථාවක් බව එම නිවේදනයේ සඳහන්. 

මෛත‍්‍රීය පදනම හෝ බුද්ධ ධර්මය නුවණින් දැන ප‍්‍රඥා සම්පන්නව ප‍්‍රායෝගිකව ජීවිතයට බද්ධ කරමින් එහි දාර්ශනික විශ්වීය වැදගත්කම වඩා වඩාත් ලෝකය වෙත ගෙන යන්නට පිළිවෙතින් පෙළ ගැසිය යුතු බව අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. 

මෙවර වෙසක් දින සැමරුම අප හමුවේ තබන ප‍්‍රබලතම අභියෝගය එය බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද වෙසක් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. 

මෙම උතුම් දිනයේ වෙසක් සඳ රැසින් ශ‍්‍රී ලංකා ද්වීපය නැහැවෙන්නේ අමා මෑණී බුදු පියාණන්ගේ උතුම් දහම් පණිවිඩය ද ලොවට සිහිපත් කරමින් බව එම නිවේදනයේ සඳහන්. 

ලෝක ජනයා වෙත ශ‍්‍රී ලංකා ද්වීපයෙන් දායාද කළ හැකි උතුම්ම දායාදය වන්නේ බුදු පියාණන්ගේ එම ථේරවාදී දහම් පණිවිඩයයි. 

සමස්ත ලෝකවාසී බෞද්ධයින් ජාත්‍යන්තර වෙසක් දිනය වශයෙන් පිළිගත් මෙම දිනය ශ‍්‍රී ලාංකිකයාට අර්ථවත් කළ හැක්කේ එම දහම් පණිවිඩය අනුව දිවි ගෙවන ජාතිකයක් බවට ලොවට පෙන්වාදීමෙන් පමනක් බව ද මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.