Friday, September 20, 2024

General line - 0115112241

ආපදා නිසා පාසල් දරුවන් වෙනුවෙන් ගත් තීරණ අධ්‍යාපන ඇමති දැනුම් දෙයි




රටේ පවත්නා ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන පාසල් විභාග සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් තීරණ රැසක් ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී අද (29) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ පිළිබඳ අදහස් දැක්වූවා.

ඒ අනුව ආපදාවන්ට ලක්වූ  ගම්පහ, කොළඹ, කලුතර, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 08 ක සියලුම රජයේ පාසල් හෙට (30) සිට සිකුරාදා (02) තෙක් ඉදිරි දින 04 ක් වසා තැබෙනවා. වසා දැමෙන පාසල් සඳහා පැවැත්විය යුතු දින ප්‍රමාණය ආවරණය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරි කාලයේදී දැනුවත් කෙරෙනු ඇති. එසේම එම දිස්ත්‍රික්කවල පෞද්ගලික පාසල්ද වසා තැබීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

විපතට පත් සියලු පාසල් දරුවන්ට පෙළපොත්, නිල ඇඳුම් කට්ටල 03 ක්, පාවහන් කට්ටලයක් සහ අභ්‍යාස පොත් අමාත්‍යංශය මගින් ලබාදීම සිදු කෙරෙනවා.

විශේෂයෙන් මෙම ගංවතුර අවධානමට ලක්වූ දිස්ත්‍රික්කවල පාසල්වල ඇති විනාශයට පත්වූ හෝ පැරණි වූ හෝ අබලන්වූ ගොඩනැගිලි පිළිබඳව තොරතුරු  ලබාගෙන, කඩිනමින් පාසල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීමටද තීරණය කර තිබෙනවා.

අවතැන් වූ දරුවන් සඳහා ද්‍රව්‍යමය ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය පරිශ්‍රය සහ සෙසු මධ්‍යස්ථාන ලෙස සියලුම ජාතික පාසල් නම් කෙරුණා. එහිදී පාසල් දරුවන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය පාසල් උපකරණ ඇතුළු මුල්‍යමය නොවන ආධාර ලබාදිය හැකියි.

ආපදාවන් හේතුවෙන් පීඩාවට පත් පිරිස් සඳහා පිසින ලද ආහාර ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ කළුතර පස්දුන්රට හා රත්නපුර, රුවන්පුර විද්‍යාපීඨ හරහා විශේෂ වැඩසටහනක් සිදු කෙරෙන අතර ආහාර පිසීමට අවශ්‍ය වන අමුද්‍රව්‍ය එම විද්‍යාපීඨ වෙත යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ මස 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබු අ.පො.ස. (සා.පෙළ) – 2017 (නව/පැරණි) අයදුම්පත් කැඳවීමේ කාලසීමාව 2017 ජූනි 15 දක්වා දීර්ඝ කෙරෙනවා.

ආපදා තත්වය නිසා විනාශවූ විභාග සහතික පත් ඇතොත් ඒවා නැවත නොමිලේ ලබාදීමටද විභාග දෙපාර්තමේන්තුව හරහා පියවර ගැනීමට නියමිතයි.

ගංවතුරින් සහ නායයාම්වලින් හානියට පත් පාසල්වලට සිදු වූ අලාභය හා ජීවිත හානිවීම් පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් ඉදිරියේ දී මාධ්‍ය වෙත නිකුත් කිරීමට ද නියමිතයි.