Tuesday, December 24, 2024

General line - 0115112241

ආපදා මරණ 194 දක්වා ඉහළට - තද වැසි හෙට සිට අඩුවෙයි




ආපදා තත්වය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 194ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

තවත් 99 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව හයලක්ෂ හාරදහස් 713ක්. 

පුද්ගලයින් අසූතුන් දහස් දෙසිය විසිහතර දෙනෙකු සහන කඳවුරුවල සිටින බවයි එම මධ්‍යස්ථනය කියා සිටියේ.
 
මේ අතර මෝරා සුළි කුණාටුව මේ වනවිට බංග්ලාදේශයට ඇතුළු වී ඇති බැවින් හෙට සිට තද වැසි සහ සුළං ඇතිවීමේ හැකියාව අඩු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කෙසේ වෙතත් තවදුරටත් වැසි තත්වය අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපෙර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එස් පේ‍්‍රමලාල් සඳහන් කළේ. 

මේ අතර රත්නපුර සහ පුටුපාවුල යන ප‍්‍රදේශවල දී කළු ගඟේ ජල මට්ටම වැඩිවී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මේ හේතුවෙන් රත්නපුර ප‍්‍රදේශයේ ගංවතුර තත්වය වැඩිවීමේ අවදානමක් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

විපතට පත්වූවන් වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමේ කටයුතු සිදු කරමින් සිටින බවයි රජය පවසන්නේ. 

හානි සිදු වූ නිවාස සඳහා වන්දි ගෙවන ආකාරය පිළිබඳව ද අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී අදහස් පල කළා. 

නිවාස පිරිසිදු කිරීම සඳහා සහ ළිං පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා සියලූ කටයුතු සූදානම් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර දිස්ත‍්‍රික්ක 07කට පැනවූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. 

රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට හා නුවරඑළිය එම දිස්ත‍්‍රික්කයි. 

ඉදිරි පැය 24 තුළ ද වර්ෂාව අඛණ්ඩ පැවතුණහොත් නායයාම් හා කණ්ඩි කඩාවැටීමේ අවදානමක් ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.