Friday, September 20, 2024

General line - 0115112241

මන්ත‍්‍රී දීමනා දෙනවා කීවාට ලිඛිතව දී ඇත්තේ කථානායක පමණයි




ආපදාවලින් විපතට පත් ජනතාවට මාසික මන්ත‍්‍රී දීමනාව ලබාදෙන බවට මෙතෙක් කිසිවෙකුත් ලිඛිතව දැනුම් දී නොමැති බව පාර්ලිමේන්තු ගණකාධිකාරී, මූල්‍ය අධ්‍යක්‍ෂ කේ ජී එම් ජයශාන්ත පවසනවා. 

ඔහු කියා සිටියේ කිසියම් මන්ත‍්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු හෝ තමන්ට හිමි දීමනාව එලෙස පරිත්‍යාග කරන්නේ නම් ඒ පිළිබඳ ලිඛිතව පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බවයි. 

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් වාචිකව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කර ඇත්තේ මන්ත‍්‍රීවරුන් තිදෙනෙකු බවයි මූල්‍ය අධ්‍යක්‍ෂවරයා පැවසුවේ. 

එස් එම් මරික්කාර්, ලකී ජයවර්ධන සහ සිරිනාල් ද මෙල් එම මන්ත‍්‍රීවරුන් තිදෙනායි. 

අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හා රාජ්‍ය අමාත්‍යවරුන්ට අදාළ මාසික වැටුප ලබා දෙන්නේ ඔවුන්ගේ අමාත්‍යංශවලින්. 

අමාත්‍යවරයෙකුට හා රාජ්‍ය අමාත්‍යවරයෙකුට හිමි වැටුප රුපියල් හැටපන් දහසක්. 

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට රුපියල් හැටතුන් දහස් පන්සියයක වැටුපක් හිමි වනවා. 

කෙසේ වෙතත් රුපියල් පනස් හතර දහස් දෙසිය අසූපහක් වූ මන්ත‍්‍රීවරුන්ගේ වැටුප පාර්ලිමේන්තුවෙන් ගෙවනු ලබනවා. 

මන්ත‍්‍රීවරුන්ට මෙන්ම අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හා රාජ්‍ය අමාත්‍යවරුන්ට අදාළ ඉන්ධන, ප‍්‍රවාහන, දුරකතන, කාර්යාල දීමනා හා දෛනික පැමිණීමේ දීමනා ගෙවන ලබන්නේ පාර්ලිමේන්තුව විසින්. 

කිසියම් මන්ත‍්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු තමන්ට හිමි මාසික දීමනාව පරිත්‍යාග කිරීමට සූදානම් වුවද දැන එලෙස අඩු කළ හැකි වන්නේ ජූනි මස දීමනාව බවයි පාර්ලිමේන්තු ගණකාධිකාරී, මූල්‍ය අධ්‍යක්‍ෂ කේ ජී එම් ජයශාන්ත වැඩිදුරටත් කියා සිටියේ. 

නෙත් නිවුස් කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ කථානායක කරූ ජයසූරිය මහතා පමණක් මේ වනවිටත් සිය මාසික දීමනාව පරිත්‍යාග කර ඇති බවයි. 

රුපියල් හැට අට දහස් පන්සියයක් වන කථානායකවරයාගේ වැටුප සහ සියලූ දීමනා ඒ යටතේ පරිත්‍යාග කර තිබෙනවා.  

මැති ඇමතිවරුන්ගේ දීමනා විපතට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ද දැනටමත් තීරණය කර තිබෙනවා. 

මේ අතර පාර්ලිමේන්තු සේවකයින් එක්දහස් එකසිය දෙදෙනාගේ අද දිනට අදාළ දිවා ආහාරය විපතට පත්වූවන්ට ලබාදීම සඳහා ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදීමට ද කටයුතු කර තිබෙනවා.