Friday, May 3, 2024

General line - 0115112241

පොලිස් රෝහලේ වෛද්‍යවරු GMOA සමග සම්බන්ධයක් නැහැයි කියයි




පොලිස් රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් පොලිස් දෙපාර්තමේන්තුවේ නීති රෙගුලාසිවලට යටත්ව කටයුතු කරන්නන් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් පවසනවා.

ඔහු සඳහන් කළේ එම සියලු වෛද්‍යවරුන්ට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තනතුරු ද ලබා දී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්. 

සයිටම් විරෝධි උද්ඝෝෂණ හේතුවෙන් ඊයේ (21) ඇති වූ සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් තිදෙනෙකු ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඔවුන්ට එහිදී නිසි ප‍්‍රතිකාර නොලැබුණු නිසා පසුව එම නිලධාරීන් පොලිස් රෝහලට ඇතුළත් කළ බවයි නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් පැවසුවේ. 

ඊට ප‍්‍රතිචාර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ පොලිස් රෝහලේ සිටින්නේ ද තම සංගමය නියෝජනය කරන සාමාජිකයින් බවයි.  කෙසේ වෙතත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් එය ප‍්‍රතික්ෂේප කළා.