Sunday, September 22, 2024

General line - 0115112241

මහජනතාවට තවත් වගකීමක් පැවරෙයි - වගකීම පැහැර හැරිය හොත් පීඩාව තමන්ටමයි




මාර්ග දෙපස ඇති කාණු පිරිසිදු කර ගැනීමේ වගකීම ද ජනතාවට පැවරෙන බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පවසනවා.

කාණු පිරිසිදු නොකිරීම හේතුවෙන් එහි ජලය එක්රැස් වී තිබෙනු බොහෝ ප‍්‍රදේශවල දී දැකගත හැකි කරුණක්. එය මදුරුවන් බෝවීමට ද දැඩි ලෙස බලපාන කරුණක් බවටයි පත්ව ඇත්තේ.

නිවාස සහ ගොඩනැගිලි පරිශ‍්‍ර මෙන්ම මාර්ග දෙපස ඇති ජලය එක්රැස් වන මෙවැනි කාණු පද්ධති ද ඩෙංගු මදුරු ව්‍යාප්තියට හේතුවක් නොවේදැයි නෙත් නිවුස් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රියගෙන් ප‍්‍රශ්න කළා.

ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ "දැන් කාණුවලට වතුර යවන්නේ මහජනයානේ..ඉතින් ඒ නිසා කාණු සුද්ද පවිත්‍ර කර ගැනීමේ වගකීම මහජනයාටත් තියෙනවා. තමුන්ගේ නිවෙස ඉදිරියේ.. තමුන්ගේ වෙළඳසැල ඉදිරියේ කාණුව සුද්ද කර ගැනීමට තමන්ට වගකීමක් තිබිය යුතුයි. මොකද එතන ඩෙංගු මදුරුවා බෝ වුනොත් කන්නේ තමන්වමනේ." යනුවෙනි.

කාණු පද්ධති පිරිසිදු කිරීම පළාත් පාලන ආයතනවල වගකීම නොවේදැයි නෙත් නිවුස් මෙහිදී පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ "මේ ඩෙංගු හදන්නේ අපි නෙමෙයි මහජනයා..ඒක නිසා ඒ වගකීම අපේ පැත්තට දාලා හරියන්නේ නැහැ. කාණුවල අයිතිය මහාමාර්ග සංවර්ධන අධිකාරියට, පළාත් සභාවට, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට අයිති වෙනවා. කොහොම වුණත් මේ ආයතන කිසිවක ප්‍රමාණවත් කම්කරුවන් නැහැ. කාණු සුද්ද කරන්න." යනුවෙනි.

ඩෙංගු මදුරු මර්දනයට සිදු කරන දූමායන කටයුතුවලින් ද එතරම් සාර්ථක ප‍්‍රතිඵලයක් අත්වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ දූමායන කටයුතු හේතුවෙන් අනෙකුත් කෘමීන් රැසක්ද මරණයට පත්වෙන බවයි. විශේෂයෙන් ඩෙංගු මදුරුවා ආහාරයට ගන්නා කෘමීන්ද මෙම දූමායන කටයුතු නිසා මරණයට පත්වෙන බවත් පැවසුවා. 

මේ අතර ඔබ වෙසෙන හෝ ඔබ යන එන ස්ථානයකදි ඔබ දකින මදුරුවන් බෝ විය හැකි කිසියම් ස්ථානයක් විනාශ කිරීමට තනිව කළ හැකි දෙයක් නොමැති නම් ඒ පිළිබදව නෙත් එෆ් එම් රේඩියෝව වෙත දැනුම් දීමට ඔබට දැන් අවස්ථාව පවතිනවා.

ඒ සඳහා ක්‍ෂණික ඇමතුම් අංකයක් දැනටමත් විවෘතයි.  එම ක්‍ෂණික ඇමතුම් අංකය වන්නේ 077 200 18 65. 

ඔබ ලබාදෙන තොරතුරු මත එවැනි ස්ථාන පිළිබද අදාළ පාර්ශව දැනුවත් කර ඒවා ඉවත් කිරීම සදහා සුදුසු කි‍්‍රයාමාර්ග ගැනීමට නෙත් එෆ් එම් රේඩියෝව සූදානම්. 

මෙය ක‍්‍රියාත්මක වන්නේ "වී ලීඞ් ශී‍්‍ර ලංකා" සංකල්පය යටතේ ආරම්භ කෙරුණු ඩෙංගු මර්දන මෙහෙයුම තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්. ඒ අනුව වෙනත් පාර්ශ්වවලට චෝදනා කිරීමට හෝ විසදුම් සාකච්ඡා කිරීමට පමණක් සීමා නොවී ඩෙංගු මර්දනය සඳහා සකී‍්‍රයව සහභාගිවීමට මහජනතාව උනන්දු කරවීම මෙහි අරමුණක්. 

ඩෙංගු වාහක මදුරුවන් බෝවිය හැකි ස්ථාන දුටුවහොත් තනි තනිව හෝ කණ්ඩායම් ලෙස එක්වී ඒවා විනාශ කිරීමට වහාම මැදිහත් වන ලෙස අප ඔබට යෝජනා කරන්නේ ද ඒ අනුවයි. එවැනි කි‍්‍රයා සඳහා සහයවීමට සහ ප‍්‍රචාරයක් ලබාදීමට ද නෙත් එෆ් එම් රේඩියෝව තවදුරටත් සූදානම්. 

ඒ අනුව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට හෝ ඩෙංගු මර්දනය සඳහා ඔබ විසින් සිදු කරන වෙනත් කි‍්‍රයා අප වෙත දැනුම්දීමට දැන් ඔබට හැකියාව පවතිනවා. 

නෙත් එෆ් එම් රේඩියෝව ඉකුත්දා ගාල්ල බද්දේගම හා හපුගල යන ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මර්දනය අරමුණු කර ගනිමින් පරිසරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ද දියත් කළා. කැලි කසල ක‍්‍රමවත් ලෙස බැහැර කිරීම සඳහා ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම ද මෙහිදී සිදු කෙරුණා.