Monday, September 23, 2024

General line - 0115112241

ගම්මිරිස් ගැටලුව තවත් ඇදෙයි - මිල වාර්තාගත ලෙස පහළට

තරංග රුක්ෂාන් ජයසේකර




ගම්මිරිස් සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

ගොවීන් පවසන්නේ මේ වනවිට ගම්මිරිස් මිල සියයට 50කින් පමණ පහත වැටී ඇති බවයි. විදෙස් රටවලින් ගම්මිරිස් මෙරටට ගෙන්වීම සහ ඒවා යළි ප‍්‍රති අපනයනය කිරීම ගැටළුව තවත් උග‍්‍ර කිරීමට හේතුවක් බව ගොවීන්ගේ අදහසයි. 

ලෝක කුලු බඩු වෙළඳ පරිමාවෙන් තුනෙන් එකක් හිමි කර ගෙන ඇති කුලු බඩු වර්ගයක් වන ගම්මිරිස් සඳහා වාර්ෂික ඉල්ලුම මෙට්ටි‍්‍රක් ටොන් ලක්ෂ 03කට ආසන්න වනවා.

ඉන් සියයට අනූවක්ම ලබා දෙන්නේ ශ‍්‍රී ලංකාව, වියට්නාමය, ඉන්දියාව, බ‍්‍රසීලය, චීනය හා මැලේසියාවයි. 

ශ‍්‍රී ලංකාවේ ගම්මිරිස් මිළ ගණන් මේ වසර ආරම්භයේ සිට ක‍්‍රමයෙන් පහත වැටෙමින් තිබෙනවා.

ඉකුත් ජනවාරි මාසයේ ගම්මිරිස් කිලෝ 1ක මිල දැක්වුණේ රුපියල් 1076.82ක් ලෙසයි. එහෙත් ඉකුත් ජූනි මාසය අවසන් වන විට ගම්මිරිස් කිලෝ ග‍්‍රෑම් 1 ක මිල රුපියල් 887.17ක් දක්වා පහත වැටුණා.

ගම්මිරිස් සඳහා මෙතරම් පහල මිලක් වාර්තා වූයේ 2014 වසරේ අපේ‍්‍රල් මාසයෙන් පසුව වීම ද විශේෂත්වයක්. 

2014 වසරේ අපේ‍්‍රල් මාසයේ සිට ඉකුත් ජූනි මාසය දක්වා ගම්මිරිස් කිලෝ 1ක මිල රුපියල් දහසට වඩා අඩු වී ඇත්තේ මාස දෙකක දී පමණයි.

2017 වසරේ ජනවාරි සිට ජූනි දක්වා සියයට 18කින් ද 2016 වසරට සාපේක්ෂව ඉකුත් ජූනි මාසයේ දී සියයට 30කින් ද ගම්මිරිස් මිල අඩුවී තිබෙනවා. 

මේ වනවිට පවතින තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්නගෙන් විමසිමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ පවතින ගැටළුවට ඇති එකම විසඳුම ගම්මිරිස් මෙරටට ගෙන්වීම නතර කිරීම බවයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගොවීන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳ ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේගෙන් ද නෙත් නිවුස් ප‍්‍රශ්න කළා. 

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ ආණ්ඩුව තීරණයකර ඇත්තේ ගුණාත්මක භාවයෙන් උසස් ගම්මිරිස් කිලෝ 1ක් රුපියල් 900ක මිලට ගැනීමටයි. මධ්‍යස්ථාන 24කදී එම මිළ දී ගැනීම සිදු කිරීමටයි දැනට තීරණය කර ඇත්තේ. 

ගම්මිරිස් මිල වැඩි කරන්නැයි ඉල්ලා ඉකුත් දින කිහිපයේ දිවයිනේ විවිධ ප‍්‍රදේශවල විරෝධතා ව්‍යාපාර ද සංවිධාන කර තිබුණා.