උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරුන් පිරිසක් සකස් කරන ලද පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව පිළිනොගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ, එම වාර්තාව සකස් කිරීමට දායකත්වය ලබාදුන් මහාචාර්ය ස්වර්ණා පියසිරි ප්‍රමුඛ විද්වත් කණ්ඩායම අදාළ වාර්තාව සම්බන්ධයෙන් සාවද්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බව පවසමින්.
ඉකුත් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදි ඔවුන් ඉදිරිපත් කරන ලද කරුණු සැලකීමේදී වාර්තාවේ කරුණු සහ ඔවුන්ගේ අදහස්වල පරස්පරතාවක් පවතින බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ.
උමග දුර්වල කලාපයක් හරහා ගමන් කිරීමේදී භූගත ජලයේ විචලතාවයක් ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් ගෘහස්ථ හා කෘෂිකාර්මික කටයුතුවලට බලපෑමක් ඇතිවිය හැකි බවට පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවේ පැහැදිලිව දක්වා ඇති බව මහාචාර්ය ස්වර්ණා පියසිරි ප්‍රකාශ කර ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ.
කෙසේවුවද තමන් වෙත ඉදිරිපත් කර ඇති පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවේ සඳහන්ව ඇත්තේ උමග සෑදීමේදී සුළු වශයෙන් ජල කාන්දුවක් සිදුවිය හැකි බවත් එමගින් භූගත ජල මට්ටමට සැලකිය යුතු බලපෑමක් ඇති නොවන බවත් යැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
තවද භූගත ජලමට්ටමේ විචලතාව නිරන්තරයෙන් පසුවිපරම් කළයුතු බව විශේෂඥ කණ්ඩායම විසින් තමන් වෙත නිර්දේශ කර ඇති බවද මහාචාර්යවරිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ.
එහෙත් එය මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය පිළිබද අවබෝධයකින් තොරව සිදුකරන ලද්දක් බවද එම අධිකාරිය පෙන්වා දෙනවා.
මෙම තත්ත්වය යටතේ මහාචාර්ය ස්වර්ණා පියසිරි ඇතුළු එම වාර්තාව සකස් කළ විද්වත් කණ්ඩායමේ අවංකභාවය සහ වෘත්තීය සදාචාරය පිළිබද ගැටළු සහගත තත්ත්වයක් පවතින බවයි මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ පිළිබද පරීක්ෂණයක් පවත්වන තුරු එම විද්වත් කණ්ඩායමේ පරිසර බලපෑම් ඇගයීම් වාර්තා සහ වෙනත් වාර්තා පිළිගැනීමෙන් වැලකී සිටින බවද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරිගේ අත්සනින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වෙත යැවු ලිපියක සඳහන්.
මේ පිළිබද නෙත් නිවුස් කළ විමසීමකදි පරිසරවේදී සජීව චාමිකර පැවසුවේ අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නම් උමාඔය ව්‍යාපෘතියද නතර කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කළයුතු බවයි.