Tuesday, September 24, 2024

General line - 0115112241

"LTTEය යළිත් එන්න හදනවා - පුහුණුව ආකල්ප වෙනස් වෙලා නැහැ" - පොලිස්පති යාපනයටම ගිහින් කියයි

රොමේෂ් මධුෂංක




ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් වී නොමැති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මුලින්ම පටන් ගත් ආකාරයට නැවත එන්න හදන උත්සහය නැවත්විය යුතු බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.

පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (01) සවස  යාපනය පොලීසියේ ශ්‍රවනාගාරයේදී සිවිල් සංවිධාන හා ආගමික නායකයින් සමග පැවති සාකච්ඡාවක් අමතිමින්.

එහිදී පොලිස්පතිවරයා වැඩි දුරටත් කියා සිටියේ,

"ත්‍රස්තවාදය අවුරුදු 30 ක් වැනි කාලයක් පැවති රටක අපි ත්‍රස්තවාදය අවසන් කරයි කිව්වට එහි යම් යම් බීජයන් ඒ ආකාරයෙන්ම අවසන් වුනයි කියල කාටවත් කියන්න බැහැ. මම කියන්න කැමතිය එකක්.. ත්‍රස්තවාදීන් විසින් පාවිච්චි කරපු අවි ආයුධ ලක්ෂ ගණනින් බාරදුන්නා.. සියලු අවි ආයුධ ඉවරයි කියන්න බැහැ.. අනිත් එක ඒ අයගේ තිබුණු පුහුණුව ජීවන රටාවත් එක්ක ගියපු ආකල්ප වෙනස් වෙලා නැහැ.. එකක් වුනා දෙකක් වුනා අපේ නිලධාරීන්ගෙත් වැරදි තිබුණා. මේක මේ විදිහට යන්න දෙන්න බැහැ. මේක නවත්තන්න වෙනවා. පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය දැන් ආරක්ෂාව තහවුරු කරල තියනවා. නමුත් අපිට මහජනතාවගේ සහයත් අවශ්‍යයයි. විවිධ අන්තවාදීන් හා සංවිධානවල පුද්ගලයින් විසින් විවිධාකාරයෙන් ජනමාධ්‍යත් යොදාගෙන මේ සාමය හා ජනජීවිතය අවුල්සහගත වන අයුරින් වැරදි අර්තකතනයන් දේශීය හා විදේශීව දෙන්න උත්සහ කරනවා. හුදෙක් ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතාව හා පැවත්ම මෙන්ම මුදල් ඉපයීම උදෙසා එල්.ටී.ටී.ඊ සංවිධානයත් මුලින් ආව විදිහට තමයි මේ අය එන්න හදන්නේ. මේකට අපි ඉඩ දිය යුතු නැහැ. ඔබ එය නිවරැදිව වටහාගන්න. අපේ නිලධාරියෙකු කැපුවා.. අපේ නිලධාරියෙකු මැරුවයි කියලා අපි පළිගන්න යන්නෙ නැහැ. අපි බොහොම ඉවසීමෙන් සංයමයෙන් එ් සිද්ධි දිහා බලලා අදාල පුද්ගලයින් ගැන බුද්ධි අංශවලිනුත් තොරතුරු අරන් අපි සාකච්ඡා කරල තමයි අත්අඩංගුවට ගන්නේ. අපි දැනටමත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ අය පුනරුත්තාපනය නොවුනු හිටපු එල්.ටී.ටී.ඊ .සංවිධානයට අයත් අය. පොලීසියට පහර දීමට 15ක් විතර පිරිසක් යතුරුපැදිවලින් පැමිණ තිබෙනවා." යනුවෙනි.