Tuesday, September 24, 2024

General line - 0115112241

පිටි බදු අඩු කළාට ජනතාවට මිල අඩු වෙන්නේ නැහැ ලු




ආනයනික පිටි කිලෝවක සෙස් බද්ද අඩු කළ ද පාන් ඇතුළු බේකරි නිශ්පාදනවල මිළ ගණන් අඩු නොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමක දී එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ පාන් මිල අඩු කිරීමට නම් පිටි සමාගම් පිටි මිළ අඩු කළ යුතු බවයි.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කලේ "රජය ආනයනය කරන පිටිවලට රුපියල් 10 ක් අඩු කරලා තියෙනවා. හැබැයි බේකරි හිමියන් 99% පාවිච්චි කරන්නේ දේශීය සමාගම් දෙකේ පිටි. මම දැනුවත්ව දන්න කවුරුත් නැහැ පිටි ගෙන්වන. කොහොම වුණත් තිරිගු ඇටවලට සිදුකර තිබෙන අඩු කිරීම පිටිමිලට බලපාන්න ඕනේ. පිටි සමාගම් දෙක එම මිළ අඩු කරොත් අපි සූදානම් පාරිභෝගිකයාට එම වාසිය ලබා දෙන්න. මේ වෙනකම් කිසිම දැනුම්දීමක් කරලා නැහැ..අඩු කරනවා කියලා." යනුවෙනි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ආපන ශාලා හිමියන්ගේ සංගමයෙන් ද විමසීමක් කළා. එහි ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේ සහල්, පාන් පිටි,සීනි, අල, ලොකු ළුෑණු ඇතුළු ආහාර ද්‍රව්‍ය 47ක් සඳහා වන විවිධ වූ බදු ඉවත් කර ඇති බව ප‍්‍රකාශ කර ඇතත් එහි සහනය ජනතාවට නොලැබෙණු ඇති බවයි.

ආනයනික පිටි කිලෝවක සෙස් බද්ද රුපියල් 25 සිට රුපියල් 15 දක්වා අඩු කිරීමටයි ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුව තීරණය කළේ.  තිරිගු ඇට මත වූ බද්ද කිලෝ එකට රුපියල් නවයේ සිට රුපියල් 06 දක්වා රුපියල් 03කින් අඩු කිරීමට ද පියවර ගැණුනා.