දිස්ත්‍රික්ක 15කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට ලක්ෂ 10කට අධික පුද්ගලයින් පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
පානීය ජල ගැටළු පවතින ප්‍රදේශවලට බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතු කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.
පුත්තලම දිස්ත්‍රික්කයට ද වියළි කාලගුණය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. වගාවන්ට ද වැඩි හානි සිදුවී ඇති බවයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද කියා සිටියේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ ජලය අලෙවි කිරීම වැඩි වශයෙන් සිදු කෙරෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පෙන්වා දෙන්නේ. ඒ අනුව පුද්ගලික සැපයුම්කරුවන් විසින් මෙම ජලය වැඩි මිලට අලෙවි කරමින් ඇති බවත් ජනතාව පීඩාවට පත්ව සිටීම නිසා එම ජලය වැඩි මිලට ලබා ගැනීමට සිදුව ඇති බවත් පැවසුවා.
එහිදී ජලය ලීටර් 500 ක් රුපියල් 350 ක් වැනි මුදලකට අලෙවි කෙරෙන බවත් ලබාදෙන ජලයේ ප්‍රමිතිය ගැන කිසිවෙකුත් වගකීමක් භාර ගැනීමට සූදානම් නැති බවත් සඳහන් කෙරුණා.
වියලි කාලගුණය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පානීය ජල ගැටළු පවතිනවා. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර් එම් වන්නිනායක සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 55000 කට පමණ වියළි කාලගුණ තත්ත්වයෙන් පීඩා විඳින්නට සිදුව ඇති බවයි.
දැඩි වියළි කාලගුණයක් පවතින උතුරු පළාතේ ද පුද්ගලයින් ලක්ෂ 04 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටයි. දැඩි නියඟය හේතුවෙන් උතුරු පළාතේ ජන ජීවිතය මුළුමනින්ම ඇණහිට ඇති බවද අප වාර්තාකරු සඳහන් කළා.