Sunday, September 8, 2024

General line - 0115112241

නියඟයේ අභියෝගය ජය ගැනීමට 'වී ලීඩ් ශ්‍රී ලංකා'

ඩිල්ෂාන් මඩවල




වී ලීඩ් ශ්‍රී ලංකා යනු යෝජනා සාකච්ඡා කිරීමට හෝ වෙනත් පාර්ශවයක් විවේචනය කිරීමට පමණක් සීමා නොවී කළ යුතු දේ තමන් විසින්ම ඉටු කිරීමට ප්‍රජාව දිරිමත් කිරීම සඳහා නෙත් එෆ් එම් රේඩියෝව හඳුන්වා දුන් සංකල්පයක්. 

මෙම සංකල්පය යටතේ නෙත් එෆ් එම් රේඩියෝව මෙහෙයවනු ලබන තවත් මෙහෙයුමක් අද (04)ආරම්භ වනවා. නියඟය නිසා ඇති විය හැකි අභියෝග ජය ගැනීම සඳහා ප්‍රජාව පෙළඹවීම මෙහිදී සිදු කිරීමට නියමිතයි. 

මේ වනවිට දිස්ත්‍රික්ක 13ක් නියඟයෙන් බලපෑමට ලක්ව තිඛෙනවා. 

එම දිස්ත්‍රික්කවල වැසියන්ට පානීය ජලය සපයා ගැනීම පවා ගැටළුවක් වී තිබෙන බවයි නෙත් නිවුස් ඉකුත් දිනවල වාර්තා කළේ. 

නල ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම ද අභියෝගයක් වී තිඛෙනවා. 

ඒ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජලය ලබා ගන්නා මූලාශ්‍රවල ද ජලය අඩුවීම හේතුවෙන්. එසේ තිබියදී සිය පාරිභෝගිකයින්ට අමතරව පාරිභෝගිකයින් නොවන පිරිසකට ද ජලය සැපයීමට සිදුව ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවා. 

පවතින මෙම අභියෝගය ජය ගැනීම සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට අප හුරුවිය යුතුයි. 

එයින් අදහස් කරන්නේ ජලය භාවිත නොකර සිටීම නොව නාස්තිය අවම කිරීම බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියා. 

ඔබ නාන කරාමයකින් ස්නානය කරන අයෙක් නම් ස්නානය අතරවාරයේ සිදු වන නාස්තිය අවම කිරීමට ඉතා පහසුවෙන් ඔබටම ක්‍රියා කළ හැකියි. එසේ කළහොත් සිදුවන ඉතිරිය අතිමහත් බව මෙහිදී විස්තර කෙරුණා. 


මෙම තොරතුරු තවත් අය සමග ද හුවමාරු කරගත හැකි නම් සහ මෙම යෝජනාව ක්‍රියාත්මක කළ හැකි නම්, ඔබද රට දිනවන්නෙකු බවට පත්වනු ඇති.