Saturday, May 18, 2024

General line - 0115112241

උමාඔය ව්‍යාපෘතිය පිළිබඳ නෝර්වේජියානු වාර්තාව ජනපති අතට 




උමා ඔය ව්‍යාපෘතියේ ජල කාන්දුවට හේතුව නිසි ශක්‍යතා අධ්‍යයනයකින් සහ පරිසර බලපෑම් අධ්‍යයනයකින් තොරව එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම බව නෝර්වේජියානු විශේෂඥ බෙන්ට් අගාර්ඞ් පවසනවා. 

උමගේ කැණීම් කටයුතුවල දී ඒ වටා ඇති බිත්තිවල විශේෂ සිමෙන්ති ආලේප කර ජලය කාන්දුවීම වැලැක්වීම පමණක් ප‍්‍රමාණවත් වී නොමැති බව ද ඔහු පෙන්වා දෙනවා. 

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රධාන උමගෙහි ඇති වූ ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැඳවූ එම විශේෂඥයා ඊයේ (04) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත භාර දුන් අතුරු වාර්තාවේ මේ බව සඳහන්. 

උමගේ ඉතිරි කොටසේ කැණීම් කටයුතුවලට පෙර වක‍්‍රාකාරව සිමෙන්ති ආලේප කළ හැකි යන්ත‍්‍ර භාවිත කළ යුතු බවත් එහි දී දැනට භාවිත කරන සිමෙන්තිවලට වඩා ශක්තිමත් සිමෙන්ති වර්ගයක් භාවිත කළ යුතු බවත් එම වාර්තාව මගින් නිර්දේශ කර තිබෙනවා. 

උමං මාර්ගයේ කැණීම් කටයුතු ජනාවාස සහිත ප‍්‍රදේශවලට පහළින සිදුවන බැවින් එම නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන බවයි නෝර්වේජියානු විශේෂඥයා සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.

මෙම වාර්තාව භාර ගත් අවස්ථාවේ අදහස් දැක් වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ දේශපාලන තීන්දු මත ක‍්‍රියාවට නැංවූ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඇති වූ පීඩාකාරී තත්ත්වයන් ඉදිරි සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී වැදගත් පාඩමක් වී ඇති බවයි. 

මධ්‍යම පළාත තුළ ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත කිලෝමීටර් 22ක් දිගැති උමගක් සහිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තවදුරටත් විශේෂඥ වාර්තා ලබා ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහි දී කියා සිටියා.