Saturday, April 27, 2024

General line - 0115112241

පරාජයේ වගකීම චන්දිමාල් භාර ගනී..කණගාටුව පළ කරමින් ඉදිරියේ සිදුවන දේ ගැන ප්‍රකාශයක් 




අභියෝගයෙන් තමන් පලා නොයන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ්  චන්දිමාල් පවසනවා.

ඊයේ (14) තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ තමා සහභාගි වූ තරගාවලිවලදී ලද දරුණුතම පරාජය මෙය බවයි.

නායකයකු ලෙස තමන්  පරාජයේ වගකීම භාර ගන්නා බවද ඔහු කියා සිටියා.

කණ්‌ඩායමක් ලෙස  ඉදිරියේදී නැගී සිටීම අරමුණ බවත් පියවරෙන් පියවර  ඉදිරියට යෑමට ඉදිරියේදී සිදුවන බවත් දිනේෂ්  චන්දිමාල් එහිදී පෙන්වා දුන්නා.


'මම ක්‍රීඩා කරපු තරගාවලි පරාජයට පත්වෙලා තියෙනවා. අපි දකුණු අප්‍රිකාවේදීත් 3-0 කට පරාජය වුණා. නමුත් අපේ රටේ ගහද්දී අපිට ටෙස්‌ට්‌ තරග තුනේදීම දින පහක්‌ ගහන්න බැරි වුණා. මේ තරගය දින දෙකහමාරකින් විතර ඉවර වුණා. කිසිවකුට නිදහසට කාරණා කියන්න දෙයක්‌ නැහැ. මගේ ක්‍රිකට්‌ දිවියේ ලබපු දරුණුම පරාජය තමයි මේක.

පැරදුනාම එක එක දේවල් කියල වැඩක්‌ නැහැ.මම කවදාවත් ක්‍රීඩකයකු වශයෙන් සහ නායකයකු වශයෙන් කණ්‌ඩායම අමාරු වෙලාවේදි දාලා යන කෙනෙක්‌ නෙමෙයි. අපිට හදාගන්න තියෙන දේවල් තියෙනවා. මම විශ්වාස කරනවා මේ කණ්‌ඩායම ඉදිරියේදී නැගී සිටින බව. ඒක එකපාරටම කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි. හිමිහිට පියවරෙන් පියවර තමයි ඉදිරියට යන්න තියෙන්නෙ. 

මේ කණ්‌ඩායම අපි හැමදෙනාම තෝරල ගත්තු තීරණයක්‌. පුහුණුවීම්වලදී හැමදෙනාම ඉතාමත් උනන්දුවෙන් මහන්සියෙන් පුහුණුවීම් කරනවා. නමුත් මැදට ගිහිල්ල හරිදේ කරන්න බැරි වුණා. නායකයකු ලෙස මම පරාජයේ වගකීම භාර ගන්නවා. ඒ වගේම මේ පරාජයන් ගැන අපේ ක්‍රිකට්‌ රසිකයන් හැමදෙනාටම මම කනගාටුවත් ප්‍රකාශ කරනවා.

මගේ මොකක්‌ හෝ අඩුපාඩුවක්‌ නිසා මාව සිම්බාබ්වේ සමග පැවැති එක්‌ දින තරගාවලියේදී තෝර ගත්තෙ නැහැ. හැබැයි මගේ ප්‍රහාරාත්මක වේගයේ අඩුපාඩුවක්‌ තියෙනව කියල කවුරු හරි කියනවනම් මම දැන් ඒ දේවල් නිවැරදි කරගෙන තියෙන්නෙ. ප්‍රහාරාත්මක වේගය අඩු වුණා නම් ඒකට හේතුවක්‌ තිබුණා. අනිත් පැත්තෙ පිතිකරුවන් දැවී යන විට මට කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු ලබා ගන්න සිදුවුණා. කොහොම වුණත් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා අවස්‌ථාවක්‌ ආවොත් උපරිමය කණ්‌ඩායමට ලබාදෙන්න." යනුවෙන් චන්දිමාල් එහිදී අදහස් පළ කළා.