Friday, May 3, 2024

General line - 0115112241

විදුලි සේවක වර්ජනය වන අලි භීතියත් පතුරවයි! වර්ජනය දිගටම




විදුලි සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අවස්ථාවක ප‍්‍රදේශ කිහිපයකින් විදුලි බිදවැටීම් වාර්තා වනවා. අම්පාරේ නෙත් නිවුස් ශ‍්‍රාවකයෙකු තමන් මුහුණපා ඇති තත්ත්වය පිළිබද අදහස් දක්වමින් පැවසුවේ විදුලිය නොමැති වීමෙන් වන අලි ප්‍රශ්නයද උග්‍ර වී ඇති බවය.

ගල්කිස්ස, පුත්තලම, අම්බලන්තොට, බලංගොඩ හා අම්පාර යන ප‍්‍රදේශවල ස්ථාන රැසකින් විදුලි බිදවැටීම් වාර්තා වන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ.

විදුලිබල අමාත්‍යාංශය සදහන් කළේ අයහපත් කාලගුණය හා විවිධ හේතූන් මත ප‍්‍රදේශ කිහිපයක විදුලිය බිද වැටී ඇති බවයි. එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. කෙසේවෙතත් විදුලි සේවකයින් පිරිසක් වර්ජනයට එක්වීම හේතුවෙන් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට බාධා එල්ල වී තිබෙනවා. කෙසේවෙතත් වර්ජනයට එක්නොවන සේවකයින් යොදවා බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි විදුලිබල අමාත්‍යාංශය පැවසුවේ. 


කෙසේවෙතත් කිසිදු සේවකයෙක් අද රාජකාරියට වාර්තාකර නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා. තමන් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය කිසිසේත් අත්නොහරින බවයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් කියාසිටියේ.

සේවකයින් පිරිසක් දැනටමත් සේවයට වාර්තා කර ඇති බවයි විදුලිබල අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන කියාසිටියේ.

වෘත්තීය සමිති සහ අමාත්‍යවරයා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වුණා. කෙසේවෙතත් සාකච්ඡා මාර්ගයෙන් ගැටළුව විසදා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බවයි අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන පැවසුවේ.
 

--------------------------------------------------------------------

විසඳුම් දුන්නා! නැහැ විසඳුමක් නැහැ! වර්ජනය අඛණ්ඩවම

15-09-2017 08:41

තමන් අද (15) සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා. ඒ, ඊයේ පස්වරුවේ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන්වීමත් සමගයි.  තම ඉල්ලීම්වලට නිසි විසදුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වූ බවටයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

මේ අතරතුර ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පදනම මත සහ පරිවාස සේවා කාලය තුළ සිටින සියලූම සේවකයින් අද පෙරවරු 8.30 ට පෙර තම සේවා ස්ථානය වෙත අනිවාර්යයෙන්ම වාර්තා කළයුතු බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා. අත්‍යවශ්‍ය හදිසි විදුලි සේවාවන් සැපයීම එහි අරමුණයි. එසේ සේවයට වාර්තා නොකරන සියලූම එම සේවකයින් සේවය අතහැර ගියාසේ සලකන බවයි අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන පැවසුවේ.

කුමන බලපෑම් එල්ලවුවද වර්ජනය අඛණ්ඩව සිදුකරන බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් අවධාරණය කළා.

කෙසේවෙතත් විසදුම් ලබාදී තිබියදී විදුලි සේවකයින් වර්ජනයකට යාම අසාධාරණ බවයි විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියාසිටියේ.

විදුලි සේවකයින් ඉකුත් බදාදා මෙම වැඩවර්ජනය ආරම්භ කළේ පැය 48 ක කාලයක් සදහායි. ගතවූ කාලය තුළද ප‍්‍රදේශ කිහිපයකින් විදුලි බිදවැටීම් වාර්තා වුණා. දැන් වර්ජනය අඛණ්ඩව දියත් කරන බැවින් විදුලි බිදවැටීම් යථාතත්ත්වයට පත් කිරීමට නොහැකි වනු ඇති බවයි වර්ජනයේ නිරත වෘත්තීය සමිති පවසන්නේ. කෙසේවෙතත් විදුලි පාරිභෝගිකයින්ට ගැටලූවක් ඇතිවීමට ඉඩ නොතබන බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරනවා.