Thursday, May 2, 2024

General line - 0115112241

වැලිකඩ උපවාසය අවසන්! බෝගම්බර දිගටම




ආහාර වර්ජනයේ නිරතව සිටි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සිය වර්ජනය අද (16) දහවල් අවසන් කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාන් ධනසිංහ පැවසුවේ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා සහ රැඳවියන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් ආහාර වර්ජනය අවසන් කළ බවයි.

වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රැඳවියන් 150 ක් පමණ ඊයේ දහවල් සහ රාත‍්‍රි ආහාර  ලබාගත්තේ නැහැ. ඒ මරණ දඬුවම නියමූවන්ට ජීවිතාන්තය දක්වාත්, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූවන්ට වසර 20ක් දක්වාත් දඬුවම් කාලය ලිහිල් කරන ලෙසට ඉල්ලමින් පල්ලේකැලේ පිහිටි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කළ ආහාර වර්ජනයට සහය දක්වමින්. කෙසේවෙතත් බෝගම්බර බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ නිරත රැඳවියන් තවදුරටත් එම කි‍්‍රයාමාර්ගයේ යෙදී සිටිනවා. 

--------------------------------------------

රැඳවියන්ගේ ඉල්ලීමට කඩිනමින් විසඳුම් ලබාදිය නොහැකියි!

16-09-2017 12:42

දුම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල ආහාර වර්ජනයේ යෙදී සිටින රැඳවියන්ගේ ඉල්ලීමට කඩිනමින් විසඳුම් ලබාදිය නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා විසඳුම් සෙවීමට අධිකරණ අමාත්‍යාංශය විසින් කමිටුවක්ද පත්කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ කියා සිටියේ.

එවැනි වටපිටාවක් තුළ රැඳවූවන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරතවීම සාධාරණ නොවන බවද ඔහු කියා සිටියා.

මරණ දඩුවමට සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින දුම්බර පිහිටි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් පසුගිය 15 වනදා සිට ආහාර වර්ජනයේ නිරත වනවා.

ඊට සහාය දක්වමින් ඊයේ (16) දහවල් සිට වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රැඳවුවන් පිරිසක් ද ආහර වර්ජනයේ නිරත වනවා.