Saturday, May 4, 2024

General line - 0115112241

ළඟදීම පුටු මාරුවට සූදානම්




ඉදිරියේදී තමා පාර්ලිමේන්තුවේ පුටු මාරුවකට සූදානම් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.

ඔහු කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ ඇති අඩුපාඩු පෙන්වාදීමේ ප්‍රතිපලයක් ලෙස තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වූ බවයි.

නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්වූ පසු ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුවට ප්‍රථමවරට අද (17) ඔහු සහභාගී වුණා.

එහිදී හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂයේ සිටිමින් වත්මන් ආණ්ඩුව පෙරළීමට ක්‍රියා කරන බවයි.

යහපාලන ආණ්ඩුවෙන් නැවත වරක් ඇමති ධුර ලබා නොගන්නා බව කියා සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. මෙරට සිටි විකට නළුවන්ගේ අඩුව පිරවීම සඳහා රාජිත සේනාරත්න වැනි අය කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

තමන් පසුගියදා ජනාධිපතිවරයා මුණගැසුණේ අමාත්‍ය දූර ලබා ගැනීමට නොවන බවත් තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනද එක්ව සිටියා.

මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ පුත්තලම දිස්ත්‍රික්කයේ බුලත් කොළය යටතේ තරග කර පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන් පිරිසක් දැනටමක් ඒකාබද්ධ විපක්ෂය සමග අත්වැල් බැඳගෙන ඇති බවයි.

එමෙන්ම තමන්  ඊයේ (16) ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවත්වූ බවත්  රණවිරු දඩයමට තුඩු දෙන අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මෙරට පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට ගෙන එන යෝජනාව සම්බන්ධයෙන් කරුණු පෙන්වා දුන් බවත් ඔහු කියා සිටියා.